ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ස්කනෙක්ටඩි (Schenectady) ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි රොබට් බස්කි ජූනියර් (Robert Buskey Jr.) නමැති පුද්ගලයෙකුට, සිය 5 හැවිරිදි දියණිය ඝාතනය කිරීමේ වරදට වසර 25ක සිට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කර තිබේ. මීට අමතරව සිය 3 හැවිරිදි පුත්‍රයාට මත්ද්‍රව්‍ය ලබාදීමේ චෝදනාවට තවත් වසර දෙකක සිරදඬුවමක් එක් කරමින් මුළු දඬුවම් කාලය වසර 27ක් දක්වා දීර්ඝ කිරීමට ස්කනෙක්ටඩි ප්‍රාන්ත අධිකරණය අප්‍රේල් 03 වැනිදා තීරණය කළේය. මානුෂීය හැඟීම්වලින් තොරව අතිශය සාහසික ලෙස දරුවන්ට සැලකීම හේතුවෙන් මොහුට නීතියෙන් පැනවිය හැකි උපරිම දඬුවම ලබාදීමට විනිසුරුවරයා පියවර ගෙන ඇත.
2024 වසරේ අප්‍රේල් මාසයේදී මෙම අවාසනාවන්ත සිදුවීම අනාවරණය වූ අතර, එහිදී 5 හැවිරිදි ෂාලට් (Charlotte) නමැති දැරිය අගුළු දැමූ කාමරයක් තුළ මියගොස් සිටියදී හමු විය. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඇය දැඩි ලෙස මන්දපෝෂණයෙන් පෙළී ඇති අතර, ප්‍රමාණවත් ආහාර හෝ ජලය නොමැතිව විජලනය වීමෙන් මියගොස් ඇති බවයි. ඇය රඳවා සිටි කාමරයේ දොර පිටතින් අගුළු දමා තිබූ අතර, ඇය පලා යාමට උත්සාහ කළ ද සැකකරු එය තවදුරටත් ශක්තිමත් කර තිබේ. එමෙන්ම නිවසේ කෑම කාමරය තුළ කූඩුවක් වැනි ස්ථානයක සිරකර සිටි 3 හැවිරිදි පුත්‍රයා ද සොයාගත් අතර, දරුවන් දෙදෙනාගේම සිරුරුවල කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු බව වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු විය.
මෙම නිවස තුළ පැවති තත්ත්වය අතිශය පිළිකුල් සහගත බවත්, දරුවන් බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම හුදෙකලා කර තබා ඇති බවත් බලධාරීහු පවසති. ඔවුන් පාසල් යැවීම හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම පවා වසර ගණනාවකින් සිදු කර නොතිබුණි. මෙම සාහසික ක්‍රියාව සම්බන්ධයෙන් සැකකාර පියා සිය වරද පිළිගත් අතර, ඔහුට සිය පුත්‍රයා සමඟ කිසිදු සබඳතාවක් පැවැත්වීම තහනම් කරමින් ආරක්ෂක නියෝගයක් ද නිකුත් කර ඇත. මෙම නඩුව මෙහෙයවූ රජයේ නීතිඥවරුන් පවසා සිටියේ මෙය මිනිස් ජීවිත කෙරෙහි කිසිදු තැකීමක් නොකරන දරුණු ගණයේ අපරාධයක් බවයි.














