ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට පෙර, ඉරානය විසින් ඇමෙරිකාවට එරෙහිව කිසිදු ක්ෂණික ප්‍රහාරයක් සැලසුම් කර තිබූ බවට බුද්ධි තොරතුරු නොතිබූ බව ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ බලධාරීන් එක්සත් ජනපද කොංග්‍රසයට දැනුම් දී තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, පෙන්ටගනය සහ ධවල මන්දිර නිලධාරීන් විසින් පවත්වන ලද රහසිගත දැනුවත් කිරීමකදී මෙම කරුණු අනාවරණය වී ඇත.
ඉරානයෙන් එල්ල වීමට තිබූ “ආසන්න තර්ජනයක්” වැළැක්වීම සඳහා මෙම ප්‍රහාරය එල්ල කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළද, එබඳු සෘජු ප්‍රහාර සැලසුමක් පිළිබඳ සාධක නොතිබූ බව ආරක්ෂක බලධාරීන් දැන් පිළිගෙන තිබේ. කලාපය තුළ ඉරාන මිසයිල සහ සන්නද්ධ කණ්ඩායම් පිළිබඳ පොදු තර්ජනයක් පැවතියද, පෙබරවාරි 28 වැනිදා ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට ඉරානය ප්‍රහාරාත්මක මට්ටමක (Pre-emptive strike) නොසිටි බව එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම හෙළිදරව්වත් සමඟ, ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණය සම්බන්ධයෙන් ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය තුළ දැඩි විවාදයක් මෙන්ම විවේචන එල්ල වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.















