අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණයත් සමඟ මීට පෙර පහත වැටුණු බොරතෙල් මිල, මැදපෙරදිග කලාපයේ පවතින දැඩි අවිනිශ්චිතතාව හේතුවෙන් ඊයේ (25) දිනයේදී යළිත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 91.39ක් දක්වා 1%කින් ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 103.3ක් දක්වා 1.10%ක අගයකින් ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 105.4ක් ලෙස සටහන් වන අතර, එය පෙර මිලට සාපේක්ෂව 14.52%ක අඩුවීමක් බව ද එම වාර්තාවල සඳහන් වේ. ඉරානය සමඟ පවතින ගැටුම්කාරී වාතාවරණය දින පහකට සීමා කිරීමට අමෙරිකාව පියවර ගත්තද, එම කාලසීමාවෙන් පසු ඇති විය හැකි තත්ත්වය පිළිබඳ පවතින සැකය ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ මෙලෙස මිල උච්ඡාවචනය වීමට ප්‍රධානතම හේතුව වී තිබේ. ඉදිරි දින කිහිපය තුළ මැදපෙරදිගින් ලැබෙන දේශපාලනික තීරණ මත බොරතෙල් මිලෙහි තවදුරටත් වෙනස්කම් සිදු විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














