ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 මූල්‍ය වර්ෂය සඳහා සිය නව අයවැය වාර්තාව ඉදිරිපත් කරමින්, එරට ආරක්ෂක වියදම් සඳහා ඩොලර් බිලියන 500ක අතිවිශාල වැඩිවීමක් ඉල්ලා තිබේ. ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ ආරක්ෂක අයවැය ඩොලර් ට්‍රිලියන 1.5 දක්වා ඉහළ නැංවීමට ඔහු යෝජනා කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට අනෙකුත් සිවිල් වැඩසටහන්වල පිරිවැය 10%කින් කපා හැරීමට ද සැලසුම් කර ඇත. මෙම “ඓතිහාසික” අයවැය ඉල්ලීම දෙවන ලෝක යුද්ධ සමයට පෙර පැවති ආරක්ෂක වියදම් ඉහළ දැමීම්වලට සමාන බව ධවල මන්දිරය පවසයි.
මෙම නව අයවැය යෝජනාව යටතේ හමුදා නිලධාරීන්ගේ වැටුප් 5%ත් 7%ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමටත්, ‘ගෝල්ඩන් ඩෝම්’ මිසයිල ආරක්ෂණ පද්ධතිය වැනි දැවැන්ත ව්‍යාපෘති සඳහා අරමුදල් වෙන් කිරීමටත් ට්‍රම්ප් පියවර ගෙන තිබේ. එසේම, “ට්‍රම්ප් මාදිලියේ” යුද නැව් (Trump-class battleship) ඇතුළු නව නාවික යාත්‍රා 34ක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 65.8ක් වෙන් කර ඇත. කෙසේ වෙතත්, මෙම ආරක්ෂක වියදම් පියවා ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (19%), සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (12.5%) සහ පරිසර ආරක්ෂණ ඒජන්සිය (52%) වැනි ආයතනවල ප්‍රතිපාදන විශාල වශයෙන් කපා හැරීමට යෝජනා කර තිබීම විශේෂත්වයකි.
ට්‍රම්ප්ගේ මෙම අයවැය යෝජනාව කොංග්‍රස් මණ්ඩලයේදී දැඩි විවේචනයට ලක්ව ඇති අතර විපක්ෂ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ මෙය ජනතාවට අත්‍යවශ්‍ය නිවාස, සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් කප්පාදු කර යුද්ධය සඳහා මුදල් වැය කිරීමක් බවයි. ඇමරිකාවේ ණය බර ඩොලර් ට්‍රිලියන 39ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක, මෙම අයවැය ලේඛනය රටේ මූල්‍ය ස්ථාවරත්වයට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව ආර්ථික විශේෂඥයෝ සැක පළ කරති. ඉදිරි 2026 මධ්‍යවාර මැතිවරණය ඉලක්ක කරගනිමින් ඉදිරිපත් කර ඇති මෙම අයවැය, ඉදිරියේදී ඇමරිකානු දේශපාලන කරළිය තුළ දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් වනු නොඅනුමානය.














