ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළට තෙල් සහ ගෑස් සපයන ප්‍රධානතම මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය අඩාල වීම මීට ප්‍රධානතම හේතුවයි. ඉරානය විසින් නෞකාවලට ප්‍රහාර එල්ල කරන බවට කළ තර්ජනයත් සමඟ දැනටමත් බොරතෙල් ප්‍රවාහනය කරන නෞකා 200ක් පමණ ගල්ෆ් කලාපයේ සිරවී ඇති අතර ලෝක වෙළඳපොළේ තෙල් මිල ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් ඇමරිකානු නාවික හමුදාවේ සෘජු ආරක්ෂාව (Naval Escort) නෞකා වෙත ලබාදෙන බවට ට්‍රම්ප් පොරොන්දු වී ඇති අතර නැව් සමාගම් මුහුණ දී ඇති රක්ෂණ අවදානම අවම කිරීම සඳහා සහනදායී මිලට රක්ෂණාවරණ ලබාදීමට ද ඔහු පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් නාවික හමුදා ආරක්ෂාව ලබා දුන්න ද නෞකාවල ආරක්ෂාව පිළිබඳව පවතින අවදානම මුළුමනින්ම පහව නොයන බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙනවා. මෙම අර්බුදය හේතුවෙන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවන අතර ට්‍රම්ප් පවසන්නේ ඉරාන පාලනයට එරෙහිව මෙම හමුදා ක්‍රියාමාර්ගය ගැනීම අත්‍යවශ්‍යව තිබූ බවයි.














