ඉරානය සමඟ ආරම්භ වූ යුද්ධයට දින දහයක් ගත වී ඇති මොහොතක, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම ගැටුම ආරම්භ වූ හේතුව සහ එහි අවසානය පිළිබඳව දක්වන පරස්පර අදහස් හේතුවෙන් ජාත්‍යන්තර විචාරකයින්ගේ දැඩි විවේචනයට ඔහු ලක්ව තිබේ. අමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ඉරාන හමුදා ඉලක්ක වෙත දිගින් දිගටම එල්ල වෙමින් පවතින පසුබිමක, මෙම යුද්ධයේ සැබෑ උපායමාර්ගය කුමක්ද යන්න පිළිබඳව ගැටලු මතුව ඇත.
ජනාධිපති ට්‍රම්ප් වරෙක මෙය ඉතා කෙටි කාලීන මෙහෙයුමක් (“short-term excursion”) ලෙස හඳුන්වමින් අමෙරිකානු හමුදා සැලසුම් කළ කාලයටත් වඩා ඉදිරියෙන් සිටින බව ප්‍රකාශ කර ඇති අතර, තවත් විටෙක මෙම යුද්ධය තවත් සති ගණනාවක් පැවතිය හැකි බවටත් එය තවදුරටත් දරුණු විය හැකි බවටත් අනතුරු අඟවා තිබේ. මෙම පරස්පර පණිවිඩ හේතුවෙන් වොෂින්ටනයේ සැබෑ අරමුණ කුමක්ද යන්න පිළිබඳව විශ්ලේෂකයින් අතර සැකයක් මතු වී ඇති අතර, එය ගෝලීය වෙළඳපොළවල් පවා දැඩි ලෙස කැළඹීමට සමත් වී ඇත.
අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමඟ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවලදී ද මෙම අවිනිශ්චිතතාවය පෙන්නුම් කරන ලදී. මැදපෙරදිග කලාපය පුරා යුද්ධය ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක, ජයග්‍රහණය ආසන්න බව පවසමින්ම යුද්ධය දිග්ගැස්සෙන බවට අනතුරු ඇඟවීම අමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ පවතින දුර්වලතාවයක් ලෙස බොහෝ දෙනා පෙන්වා දෙති.













