අමෙරිකාව සහ ඉරානය අතර පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ, ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ආපදාවට පත්වූ ඉරාන නෞකාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගනු ලබන තීරණවලට අමෙරිකානු රජය සිය ගෞරවය පළ කර තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ‘IRIS Bushehr’ නෞකාව සහ ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව සතු ස්වෛරී අයිතිය වොෂින්ටනය පිළිගන්නා බවයි.
මෙම සිදුවීමට අදාළ පසුබිම් තොරතුරු කිහිපයක් මෙසේය. පසුගිය මාර්තු 04 වනදා අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන යුද නෞකාවක් වන ‘IRIS Dena’ ගාල්ලට ඔබ්බෙන් මුහුදේ ගිලී ගිය අතර, එහි සිටි නාවිකයන් 32ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරා ගන්නා ලදී. ඉන් අනතුරුව එන්ජිමේ දෝෂයක් වාර්තා කළ ‘IRIS Bushehr’ නම් සැපයුම් නෞකාවට ද මානුෂීය පදනම මත ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසර ලබා දුන්නේය.
වොෂින්ටනයේ මෙම ප්‍රකාශය වැදගත් වන්නේ, ඉරාන නාවිකයන් යළි එරටට යැවීම (Repatriation) සම්බන්ධයෙන් අමෙරිකාවෙන් බලපෑම් එල්ල වන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පළ වූ පසුබිමකය. කෙසේ වෙතත්, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැන් නිල වශයෙන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතියට අනුකූලව ගන්නා ඕනෑම තීරණයකට තමන් එකඟ වන බවයි.














