ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්ව විනාශ වූ ඉරානයේ IRIS Dena නෞකාව නිරායුධව තිබූ බවට ඉරානය කරන චෝදනා අමෙරිකානු ඉන්දු-පැසිෆික් විධානය (INDOPACOM) නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. මාර්තු 07 වනදා ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම නෞකාව සන්නද්ධ ගැටුම් නීතිය (Law of Armed Conflict) යටතේ විනාශ කළ හැකි වලංගු හමුදා ඉලක්කයක් වූ බවයි.
ඉරානයේ IRIS Dena නෞකාව නිරායුධව සහ හුදෙක් උත්සව මෙහෙයුමක (Ceremonial Mission) නිරතව සිටි බවට ඉරානය කරන ප්‍රකාශ අසත්‍ය බව අමෙරිකාව පවසයි. සන්නද්ධ ගැටුම් නීතියට අනුව හමුදා ඉලක්කයක් ලෙස හඳුනාගත් ඕනෑම සතුරු නෞකාවක් විනාශ කිරීමට බලය යෙදීමට අවසර ඇති බවත්, මෙම ප්‍රහාරය එම නීතිමය රාමුව තුළ සිදු වූවක් බවත් ඔවුන් සඳහන් කරයි. ප්‍රහාරයෙන් පසු දිවි ගලවා ගත් ඉරාන නාවිකයන්ට ජීවිතාරක්ෂක සහාය ලබා දීමට ශ්‍රී ලංකාව කටයුතු කිරීම ජාත්‍යන්තර නීතියට අනුකූලව සිදු වූ මානුෂීය මෙහෙයුමක් ලෙස අමෙරිකාව මෙහිදී අගය කර ඇත.
මෙම ප්‍රහාරයෙන් ඉරාන නාවිකයන් 87 දෙනෙකු පමණ මියගිය අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පුද්ගලයන් 32 කු බේරාගන්නා ලදී. මෙම නෞකාව ඉන්දියාවේ පැවැති ‘මිලාන්’ (Milan 2026) නාවික අභ්‍යාසයට සහභාගී වී යළි ඉරානය බලා ගමන් කරමින් සිටියදී මෙලෙස අමෙරිකානු ප්‍රහාරයකට ලක් විය.














