වෙනිසියුලාවේ අන්තර්කාලීන ජනාධිපති ලෙස කටයුතු කරන ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodríguez) මහත්මිය මත පැනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකානු රජය තීරණය කර තිබේ. ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) මගින් ගනු ලැබූ මෙම පියවර හරහා ඇයගේ පාලනයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන අතර දෙරට අතර තෙල් සහ ව්‍යාපාරික සබඳතා යළි ශක්තිමත් කිරීමට මග පෑදෙනු ඇත.
මෙම සම්බාධක ලිහිල් කිරීම 2026 වසරේ ජනවාරි 3 වන දින සිදුවූ දේශපාලන පෙරළියේ තීරණාත්මක ප්‍රතිඵලයකි. එදින වෙනිසියුලාවේ අගනුවර වන කරකාස්හිදී එරට හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ ඇමරිකානු හමුදා භාරයට පත් වූ අතර, මේ වන විට ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා යටතේ නිව්යෝර්ක් අධිකරණයක් හමුවේ නඩු විභාගවලට මුහුණ දෙමින් සිටිති.
මෙම තීරණයත් සමඟ ඩෙල්සි රොඩ්රිගස් හට ඇමරිකානු සමාගම් සහ ආයෝජකයින් සමඟ වඩාත් නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව උදා වේ. මෙය දෙරට අතර පවතින සබඳතා “සාමාන්‍යකරණය සහ ශක්තිමත් කිරීමේ” වැදගත් පියවරක් බව පවසන ඇය, ඉදිරියේදී වෙනිසියුලාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් මෙම සබඳතා බෙහෙවින් ඉවහල් වනු ඇති බවට විශ්වාසය පළ කර සිටියි.














