ඉරානයේ කාන්තා සහ පවුල් කටයුතු පිළිබඳ හිටපු උප ජනාධිපතිනි මසූමේ එබ්ටෙකාර්ගේ (Masoumeh Ebtekar) සමීපතම ඥාතීන් කිහිප දෙනෙකුට ලබා දී තිබූ වීසා සහ නේවාසික බලපත්‍ර (Green Cards) වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අද (11) පියවර ගෙන තිබේ. හිටපු උප ජනාධිපතිනියගේ පුත් ඊසා හෂේමි (Eissa Hashemi), ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා මෙලෙස වීසා අවලංගු කර පිටුවහල් කිරීමට නියමිත පිරිස අතර වෙති.
මසූමේ එබ්ටෙකාර් යනු 1979 වසරේ ටෙහෙරානයේ ඇමරිකානු තානාපති කාර්යාලය වටලා ඇමරිකානුවන් 52 දෙනෙකු දින 444ක් පුරා ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීමේ සිදුවීමේදී කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ තැනැත්තියකි. “අපේ රටේ ජීවත් වීමේ සුවිශේෂී වරප්‍රසාදය භුක්ති විඳීමට ඇමරිකානු විරෝධී ත්‍රස්තවාදීන්ට හෝ ඔවුන්ගේ පවුල්වලට කිසිසේත්ම ඉඩ නොදෙන” බව රාජ්‍ය ලේකම් රූබියෝ සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර ඇත. අදාළ පුද්ගලයින් මේ වන විට ඇමරිකානු ආගමන හා විගමන අංශයේ (ICE) භාරයේ පසුවන අතර ඔවුන් මෙරටින් පිටුවහල් කිරීමේ මූලික කටයුතු ආරම්භ කර තිබේ.














