මැදපෙරදිග කලාපයේ ස්ථාපිත කර ඇති අමෙරිකානු හමුදා කඳවුරු, යුද නැව් සහ ගුවන් යානා පිළිබඳ අතිශය රහසිගත බුද්ධි තොරතුරු රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විසින් ඉරානය වෙත ලබා දී ඇති බවට අමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් (Washington Post) පුවත්පත වාර්තා කරයි. පසුගිය සෙනසුරාදා ගැටුම් ආරම්භ වූ දින සිට රුසියාව මෙම තොරතුරු හුවමාරුව ඉතා පුළුල් මට්ටමින් සිදුකර ඇති බව එම වාර්තාවල සඳහන් වේ.
අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරාන හමුදාව සතු බුද්ධි තොරතුරු ගවේෂණ හැකියාවන් අඩාල වී ඇති මොහොතක, රුසියාව ලබා දෙන මෙම සහයෝගය ඉරානයට අමෙරිකානු ඉලක්ක හඳුනා ගැනීමට මහත් පිටුවහලක් වී තිබේ. මෙම උණුසුම් තත්ත්වයත් සමඟ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ද සිය හමුදා ක්‍රියාකාරකම් දැඩි කර ඇති අතර, එය අමෙරිකාවට තවත් අභියෝගයක් වී ඇත.
කෙසේ වෙතත්, ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් (Karoline Leavitt) ප්‍රකාශ කළේ රුසියාව ලබා දෙන මෙම සහයෝගය යුධ පිටියේ කිසිදු වෙනසක් කිරීමට සමත් වී නොමැති බවයි. “අපි ඉරාන හමුදා බලය සම්පූර්ණයෙන්ම විනාශ කරමින් සිටින නිසා රුසියාවේ උදව්වෙන් ඔවුන්ට පලක් නැහැ” යනුවෙන් ඇය අවධාරණය කළාය. මේ අතර, ක්‍රෙම්ලීන් ප්‍රකාශක දිමිත්‍රි පෙන්කොව් සඳහන් කළේ ඉරානය දේශපාලනික සහයෝගය හැර වෙනත් කිසිදු හමුදා ආධාරයක් රුසියාවෙන් ඉල්ලා නොමැති බවයි.














