කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාත්මක වන M23 කැරලි කණ්ඩායමට සෘජු මෙහෙයුම් සහාය ලබා දීම සම්බන්ධයෙන් රුවන්ඩා හමුදාවට සහ එහි ඉහළ පෙළේ නිලධාරීන් සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට ඇමෙරිකානු රජය පියවර ගෙන තිබේ. ඛනිජ සම්පත්වලින් පොහොසත් කොංගෝවේ ප්‍රධාන නගර කිහිපයක් අල්ලා ගැනීමට M23 කැරලිකරුවන් සමත් වූයේ රුවන්ඩාවේ සහාය ඇතිව බව ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
සම්බාධක පනවන ලද නිලධාරීන් අතර රුවන්ඩා ආරක්ෂක බලකායේ (RDF) හමුදා මාණ්ඩලික ප්‍රධානී වින්සන්ට් නයකරුන්ඩි (Vincent Nyakarundi) සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මුබාරක් මුගන්ගා (Mubarakh Muganga) ඇතුළු ප්‍රධාන හමුදා නායකයන් සිව්දෙනෙකු වේ. ඔවුන් M23 කැරලිකරුවන්ගේ ජයග්‍රහණ පිටුපස සිටින ප්‍රධාන බලවේග බව ඇමෙරිකාව පෙන්වා දෙයි.
පසුගිය දෙසැම්බරයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී රුවන්ඩාව සහ කොංගෝව අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කළද, ඉන් දින කිහිපයකට පසු M23 කැරලිකරුවන් විසින් උවිරා (Uvira) නගරය අත්පත් කර ගැනීම හරහා එම ගිවිසුම උල්ලංඝනය කර ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
කොංගෝ රජය මෙම සම්බාධක පැනවීම සිය ස්වෛරීභාවයට ලැබුණු “ශක්තිමත් සංඥාවක්” ලෙස හඳුන්වමින් සාදරයෙන් පිළිගෙන තිබේ. කෙසේ වෙතත්, රුවන්ඩා රජය ප්‍රකාශ කරන්නේ මෙම පියවර අසාධාරණ බවත්, එමගින් පවතින ගැටුමේ සැබෑ ස්වරූපය විකෘති වන බවත්ය.
M23 කැරලිකරුවන් විසින් සිවිල් වැසියන්ට එරෙහිව සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඝාතන පිළිබඳව ද ඇමෙරිකාව සිය දැඩි අවධානය යොමු කර ඇත. මේ වන විට කොංගෝවේ පවතින මෙම ගැටුම් හේතුවෙන් මිලියන හතකට අධික ජනතාවක් අවතැන් වී ඇති අතර, එය ලොව පවතින බරපතලම මානුෂීය අර්බුදයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වයි.















