ඇමරිකා එක්සත් ජනපදයේ සමාජ ආරක්ෂණ ජාලයේ දිගුකාලීන ස්ථාවරත්වය පිළිබඳව දැඩි අනතුරු ඇඟවීම් නිකුත් වෙමින් පවතින්නේ, එහි මූල්‍ය පරතරය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට නවතම ෆෙඩරල් දත්ත වාර්තා අනාවරණය කිරීමත් සමඟය. රජයේ මූල්‍ය ප්‍රකාශන ඇසුරින් සිදුකළ විශ්ලේෂණයකට අනුව, වසර 75ක කාලයක් සඳහා වන රටේ සමාජ රක්ෂණ වගකීම් ප්‍රමාණය 2024 මූල්‍ය වර්ෂයේ පැවති ඩොලර් ට්‍රිලියන 78.3 සිට 2025 වසර වන විට ඩොලර් ට්‍රිලියන 88.4 දක්වා ඉහළ ගොස් තිබේ. එනම් වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙම පරතරය ඩොලර් ට්‍රිලියන 10.1 කින් වර්ධනය වී ඇත.
සමාජ ආරක්ෂණ පරිපාලනය (SSA) යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මගින් විශ්‍රාමිකයන්, ආබාධිත පුද්ගලයන් සහ යැපෙන්නන් ඇතුළු ඇමරිකානු වැසියන් මිලියන 70කට අධික පිරිසකට සහන සලසනු ලබයි. වර්තමාන නීතිය යටතේ අපේක්ෂිත ආදායම සහ ගෙවිය යුතු ප්‍රතිලාභ අතර පරතරය මෙලෙස පුළුල් වීම හේතුවෙන් ප්‍රතිපත්ති සම්පාදකයින් දැඩි පීඩනයකට ලක්ව සිටින බව වාර්තා වේ. මෙම අර්බුදය හමුවේ ප්‍රතිලාභ කප්පාදු කිරීම, වැටුප් බදු ඉහළ නැංවීම හෝ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම වැනි තීරණාත්මක පියවරයන් කරා යාමට සිදුවනු ඇති බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
මෙම මූල්‍ය අසමතුලිතතාවය ඉහළ යාමට ප්‍රධානතම හේතුව ලෙස සමාජ ආරක්ෂණ සහ මෙඩිකෙයා (Medicare) වැඩසටහන් පෙන්වා දිය හැකිය. වාර්තාවට අනුව සමාජ ආරක්ෂණ අරමුදලේ හිඟය වසරක් තුළ ඩොලර් ට්‍රිලියන 2.5 කින් ඉහළ ගොස් ඇති අතර, මෙඩිකෙයා (Medicare Part B) වැඩසටහනෙහි ඩොලර් ට්‍රිලියන 6.9 ක දැවැන්ත වර්ධනයක් දක්නට ලැබේ. මෙම වැඩසටහන් දෙකම එක්ව ගත් කල ඇමරිකාවේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයට එල්ල වී ඇත්තේ දැඩි අභියෝගයකි.














