ඉරානයේ අලුතින් පත් වූ උත්තරීතර නායක මොජ්තාබා කමේනි ජීවතුන් අතර සිටියද, ඔහුට තුවාල සිදුව ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ෆොක්ස් නිවුස් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප් සඳහන් කළේ, යුද්ධයේ පළමු දිනයේදී මොජ්තාබාගේ පියා වන හිටපු උත්තරීතර නායකයා මිය ගිය බවයි. පූජක සභාව විසින් නව නායකයා තෝරා පත් කර ගැනීමෙන් පසුව ඔහු මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර, ඉරාන නිලධාරීන් ද තහවුරු කර ඇත්තේ ඔහු සුළු තුවාල ලබා සිටියත් මෙහෙයුම් කටයුතුවල නිරත වන බවයි.
තම ප්‍රථම නිල අදහස් දැක්වීම රූපවාහිනී නිවේදකයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කරමින් මොජ්තාබා කමේනි ලෝක වෙළෙඳපොළට අතිශය තීරණාත්මක වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පොරොන්දු වී තිබේ. එසේම අසල්වැසි රටවල පිහිටි ඇමෙරිකානු කඳවුරු ඉවත් නොකළහොත් ඒවා ඉරානයේ ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ද ඔහු දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත. මේ අතර, ඉරානයට එරෙහි යුද්ධයේ පළමු දින 06 සඳහා පමණක් ඇමෙරිකානු රජය ඩොලර් කෝටි 1100ක දැවැන්ත මුදලක් වැය කර ඇති බව ද වාර්තා වේ.
මැදපෙරදිග කලාපයේ පවතින මෙම උණුසුම් තත්ත්වය හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත්, එය ගෝලීය බලශක්ති සැපයුමට සහ තෙල් මිල කෙරෙහි දැවැන්ත බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විචාරකයෝ පෙන්වා දෙති. ඉරාක සන්නද්ධ කණ්ඩායම් විසින් ඇමෙරිකානු ගුවන් යානයක් බිම හෙළීමේ වගකීම භාර ගැනීමත් සමඟ කලාපීය යුද්ධය තවදුරටත් සංකීර්ණ වෙමින් පවතී.














