ඇමරිකානු දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් මහතා සහ ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ගජබාහු’ නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඇමරිකානු වෙරළාරක්ෂක බලකායට අයත්ව තිබූ මෙම නෞකාව මෙරට නාවික හමුදාවට ලබා දීම හරහා දෙරට අතර පවතින ශක්තිමත් සමුද්‍රීය හවුල්කාරිත්වය මැනවින් පිළිඹිබු වන බව මෙහිදී අවධාරණය කෙරුණු අතර ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සිව්වන වෙරළාරක්ෂක නෞකාව වන ‘Decisive’ නෞකාව ද මේ වන විට ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් පවතින බව වාර්තා වේ. මෙම සංචාරය අතරතුර සර්ජියෝ ගෝර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හමු වූ අතර එහිදී දෙරට අතර වෙළඳ සබඳතා වර්ධනය කර ගැනීම සහ වරාය ක්ෂේත්‍රයේ නව ඇමරිකානු ආයෝජන අවස්ථා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා තිබේ. කලාපීය ආරක්ෂාව සහ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට ඇමරිකාව ලබා දෙන මෙම සහයෝගීතාවය අතිශය වැදගත් වන අතර ඉදිරියේදී ආර්ථික සහයෝගීතාවය තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ද දෙපාර්ශ්වයේම විශේෂ අවධානය යොමු විය.














