ඉරාන නෞකා සහ ඒවායේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් පවතින තත්ත්වය හැසිරවීමේදී ශ්‍රී ලංකාව සතු ස්වෛරී අයිතියට තමන් ගෞරව කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. විශේෂයෙන්ම ‘IRIS Bushehr’ නෞකාව සහ මුහුදේදී බේරාගත් ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් ගත යුතු අවසන් පියවර තීරණය කිරීමේ පූර්ණ බලය ශ්‍රී ලංකාව සතු බව අමෙරිකාව අවධාරණය කරයි.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම තීරණය දේශීය නීතියට මෙන්ම ජාත්‍යන්තර නීතිමය බැඳීම්වලට අනුකූලව ශ්‍රී ලංකා රජය විසින්ම ගත යුතු බවයි. කෙසේ වෙතත්, ඉරානය විසින් අමෙරිකාවට සහ එහි හවුල්කාර රටවලට එල්ල කරනු ලබන ආරක්ෂක තර්ජන අවම කිරීම සිය මූලික අරමුණ බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ නිරන්තරයෙන් අදහස් හුවමාරු කර ගන්නා බවත් අමෙරිකාව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ප්‍රකාශය හරහා පෙනී යන්නේ ඉරාන නෞකා ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාව කෙරෙහි පැවති ජාත්‍යන්තර බලපෑම යම් මට්ටමකට සමනය වී ඇති බවත්, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ස්වාධීන තීරණයක් ගැනීමට ලංකාවට ඉඩ ලැබී ඇති බවත්ය.














