ලොව ඕනෑම ස්ථානයකට ප්‍රහාර එල්ල කළ හැකි, න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි Minuteman III නම් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් (ICBM) ඇමෙරිකාව විසින් සාර්ථකව අත්හදා බලා තිබේ. “ලෝක විනාශක” (Doomsday) මිසයිලය ලෙස හඳුන්වන මෙය කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ බලකා කඳවුරේ සිට දියත් කර ඇති අතර, එය මාෂල් දූපත් අසල පිහිටි පූර්ව නිශ්චිත ඉලක්කය කරා සැතපුම් දහස් ගණනක් සාර්ථකව ගමන් කර ඇත.
මෙම මිසයිලයේ සුවිශේෂී ලක්ෂණ මෙසේය. පැයට සැතපුම් 15,000 ක වේගයෙන් ගමන් කළ හැකි මෙයට කිලෝමීටර් 13,000 ක දුරක් ආවරණය කරමින් ලොව ඕනෑම ස්ථානයකට පහර දීමේ හැකියාව පවතී. එමෙන්ම න්‍යෂ්ටික හිස් රහිතව අත්හදා බැලුවද, සැබෑ ප්‍රහාරයකදී හිරෝෂීමා බෝම්බයට වඩා 20 ගුණයක ප්‍රබලත්වයෙන් යුත් න්‍යෂ්ටික හිස් රැගෙන යාමට මෙයට හැකියාව තිබේ.
මෙම අත්හදා බැලීම සිදු වන්නේ ඇමෙරිකාව, ඉශ්‍රායලය සහ ඉරානය අතර සෘජු යුදමය තත්ත්වයක් පවතින අතිශය තීරණාත්මක මොහොතකය. විශේෂයෙන්ම පසුගිය සෙනසුරාදා ඇමෙරිකානු සහ ඉශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය යාම සහ බදාදා දින ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නයේදී ඉරාන IRIS Dena නෞකාව ඇමෙරිකාව විසින් ගිල්වා දැමීමත් සමඟ ලෝක දේශපාලනික තත්ත්වය දැඩි ලෙස උණුසුම් වී ඇත. කෙසේ වෙතත්, පෙන්ටගනය අවධාරණය කරන්නේ මෙම පරීක්ෂණය වසර ගණනාවකට පෙර සැලසුම් කරන ලද්දක් මිස වර්තමාන යුදමය තත්ත්වයට දක්වන ප්‍රතිචාරයක් නොවන බවයි.














