ඉරානය සමඟ පවතින යුද මෙහෙයුම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඇමරිකානු රජය සතුව පවතින බැවින් ඒ සඳහා එරට වැසියන් මත අමතර බදු බරක් පැටවීමට අවශ්‍ය නොවන බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ප්‍රකාශ කර තිබේ. NBC පුවත් සේවයේ ‘Meet the Press’ වැඩසටහනට එක්වෙමින් ඔහු අවධාරණය කළේ මෙම යුද්ධය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට රජය සතුව ප්‍රමාණවත් මුදල් පවතින බවයි.
පෙන්ටගනය විසින් ඩොලර් බිලියන 200 ක අතිරේක අයවැය ප්‍රතිපාදනයක් ඉල්ලා ඇති බවට පැතිර යන වාර්තා පිළිබඳව නිශ්චිත අගයක් තහවුරු නොකළද, හමුදා ශක්තිය වර්ධනය කිරීමේ අවශ්‍යතාව ලේකම්වරයා මෙහිදී පෙන්වා දී ඇත. ජනාධිපති ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය තුළදී ද හමුදා බලය ශක්තිමත් කිරීමට කැපවී සිටින අතර, ඉදිරියේදී හමුදාවට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රජය සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














