ඇමෙරිකානු මධ්‍යම රජය සතු ශිෂ්‍ය ණය කළඹේ කොටසක් කළමනාකරණය කිරීමේ වගකීම අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව (Treasury Department) වෙත පැවරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මධ්‍යම රජයේ මැදිහත්වීම අවම කර එහි බලතල ප්‍රාන්ත රජයන් වෙත පැවරීමේ අරමුණින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අහෝසි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාදුන් මැතිවරණ පොරොන්දුවට අනුව මෙම පියවර ගෙන ඇත.
අධ්‍යාපන සහ මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තු අතර ඇති කරගත් අන්තර් ආයතනික ගිවිසුමකට අනුව, ගෙවීම් පැහැර හරින ලද (Defaulted) ෆෙඩරල් ශිෂ්‍ය ණය අයකර ගැනීමේ සම්පූර්ණ වගකීම මහා භාණ්ඩාගාරය වෙත පැවරේ. මෙහි මීළඟ අදියර යටතේ අනෙකුත් ශිෂ්‍ය ණය සහ ෆෙඩරල් ශිෂ්‍ය ආධාර (FSA) වැඩසටහන්වල මෙහෙයුම් කටයුතු ද නීත්‍යානුකූලව හැකි උපරිම අයුරින් මහා භාණ්ඩාගාරය යටතට ගැනීමට සැලසුම් කර තිබේ.
අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතු කාර්යයන් ශ්‍රම, රාජ්‍ය, අභ්‍යන්තර සහ සෞඛ්‍ය යන තවත් ෆෙඩරල් දෙපාර්තමේන්තු හතරක් වෙත බෙදා දීමට හෝ පැවරීමට ද පසුගිය වසරේ අගභාගයේදී පියවර ගැනිණි. මෙමගින් ඇමෙරිකානු මධ්‍යම රජයේ ප්‍රමාණය කුඩා කිරීම සහ අධ්‍යාපන කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ බලය වඩාත් ප්‍රජා මට්ටමට සමීප කිරීම ට්‍රම්ප් පරිපාලනයේ අපේක්ෂාව වී ඇත.














