රොයිටර් පුවත් සේවය සහ Ipsos ආයතනය එක්ව සිදුකළ නවතම මහජන මත විමසුමකට අනුව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවය ඔහු යළිත් ධවල මන්දිරයට පැමිණි පසු වාර්තා වූ අවම මට්ටම දක්වා පහත වැටී තිබේ. අඟහරුවාදා නිකුත් කරන ලද මෙම වාර්තාවට අනුව ජනාධිපතිවරයාගේ අනුමත කිරීමේ අනුපාතය (Approval Rating) සියයට 36ක් දක්වා පහත බැස ඇත. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ ඉහළ ගිය ඉන්ධන මිල සහ ඉරානයට එරෙහිව දියත් කළ ප්‍රහාරයන් පිළිබඳව අමෙරිකානු වැසියන් තුළ පවතින දැඩි අප්‍රසාදය මෙම ජනප්‍රියතාවය අඩුවීමට ප්‍රධානතම හේතු ලෙස පෙන්වා දී තිබේ.
මෙම මත විමසුමට සහභාගී වූවන්ගෙන් සියයට 35ක් පමණක් ඉරානයට එල්ල කළ ප්‍රහාරයන් අනුමත කර ඇති අතර, බහුතරයකගේ අදහස වී ඇත්තේ මෙම ගැටුම් හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව තවදුරටත් අවදානමට ලක්විය හැකි බවයි. මීට අමතරව මැදපෙරදිග අස්ථාවරත්වය හේතුවෙන් ඇති වූ ගෝලීය බලශක්ති අර්බුදය නිසා ඉහළ ගිය ජීවන පිරිවැය සහ ආර්ථික තත්ත්වය පිළිබඳව ද අමෙරිකානු වැසියන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.














