ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක වසර 100ක් පැරණි ‘Jones Act’ නමැති නාවික නීතිය තාවකාලිකව අත්හිටුවීමට (Waive) ට්‍රම්ප් පරිපාලනය සූදානම් වෙයි.
1920 දී පනවන ලද මෙම නීතියට අනුව ඇමෙරිකානු වරායන් දෙකක් අතර භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන සෑම නෞකාවක්ම ඇමෙරිකාව තුළ නිෂ්පාදනය කරන ලද ඒවා විය යුතුය. එමෙන්ම ඒවා ඇමෙරිකානු සමාගමකට අයත් විය යුතු අතර ඇමෙරිකානු ධජය යටතේ ලියාපදිංචි වී තිබීම ද අනිවාර්ය වේ. නෞකාවේ සේවක මණ්ඩලයෙන් බහුතරය ඇමෙරිකානු වැසියන් විය යුතු බවට ද එහි සඳහන් වේ.
ඉරාන යුද්ධයත් සමඟ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීම නිසා ගෝලීය තෙල් සැපයුමට බාධා එල්ල වී ඇති අතර ඇමෙරිකාව තුළ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. Jones Act නීතිය නිසා ඇමෙරිකාවේ එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට (උදාහරණයක් ලෙස ගල්ෆ් වෙරළේ සිට නැගෙනහිර වෙරළට) ඉන්ධන ප්‍රවාහනය කළ හැක්කේ සීමිත ඇමෙරිකානු නෞකා ප්‍රමාණයකට පමණි.
මෙම නීතිය දින 30ක කාලයකට තාවකාලිකව ඉවත් කිරීම හරහා විදේශීය තෙල් නැව්වලට ඇමෙරිකානු වරායන් අතර ඉන්ධන ප්‍රවාහනය කිරීමට අවස්ථාව ලැබේ. එමඟින් ඉන්ධන සැපයුම වේගවත් කර පවතින හිඟය මඟහරවා ගැනීමටත් ඉන්ධන ප්‍රවාහන පිරිවැය අඩු කිරීම හරහා පාරිභෝගිකයන්ට සහනයක් ලබා දීමටත් අපේක්ෂා කෙරේ. මීට පෙර 2017 වසරේ ‘මරියා’ සුළි කුණාටුව අවස්ථාවේදී සහ 2022 දී පුවර්ටෝ රිකෝ වෙත සහන සැලසීමේදී ද මෙම නීතිය තාවකාලිකව අත්හිටුවා තිබුණි.















