ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොන්ග්‍රස් මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව යුධමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම හේතුවෙන් එරට දේශපාලන කරළිය දැඩි ලෙස උණුසුම් වී තිබේ. ඩිමොක්‍රටික් පාක්ෂිකයන් (විපක්ෂය) පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යුද්ධයක් ප්‍රකාශ කිරීමේ බලය ඇත්තේ කොන්ග්‍රසයට මිස ජනාධිපතිවරයාට පමණක් නොවන බවයි.
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සේනාධිනායකයා ලෙස තමන්ට ඇති බලතල අනුව සිදුකළ බව ජනපති ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පාර්ශවය පවසන අතර, ඊශ්‍රායලයේ තීරණය නිසා ඇමෙරිකාවට “ආසන්න තර්ජනයක්” (Imminent Threat) තිබූ බව ඔවුහු තර්ක කරති. කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් සෙනෙට් සභික මාර්ක් වෝනර් ඇතුළු පිරිස චෝදනා කරන්නේ, මෙවැනි ප්‍රහාරයක් සඳහා රජය විවිධ අවස්ථාවල පරස්පර හේතු ඉදිරිපත් කළත්, ඇමෙරිකානු අවශ්‍යතාවලට එල්ල වූ ක්ෂණික තර්ජනයක් පිළිබඳව මෙතෙක් විශ්වාසදායක සාක්ෂි පෙන්වීමට රජය අපොහොසත් වී ඇති බවයි.
මෙම අර්බුදය හමුවේ, ජනාධිපතිවරයාගේ යුද බලතල සීමා කිරීම සඳහා වන විශේෂ ඡන්ද විමසීමක් මේ සතිය අගදී පැවැත්වීමට ඩිමොක්‍රටික් පාර්ශවය සැලසුම් කර තිබේ. ඇමෙරිකානු සෙබළුන් හය දෙනෙකු මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති පසුබිමක, ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ නිලධාරීන් අද (මාර්තු 03) සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවේ කරුණු දැක්වීමට නියමිතය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ රිපබ්ලිකන් පක්ෂයට සුළු බහුතර බලයක් පවතින බැවින්, ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට විපක්ෂය දරන උත්සාහයන් ජයග්‍රහණය කරනු ඇත්ද යන්න තවමත් අවිනිශ්චිතය.














