අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මැදපෙරදිග කලාපයේ හමුදා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගනු ලැබූ නවතම තීරණයත් සමඟ අද (27) පෙරවරුවේ ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි සුළු අඩුවීමක් වාර්තා වී තිබේ. ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර සඳහා ලබා දී තිබූ තාවකාලික විරාමය දින 5 සිට සති 2 දක්වා දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා පියවර ගැනීම මෙම මිල වෙනස් වීමට ප්‍රධානතම හේතුව වී ඇත.
ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.2%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 106.76ක් ලෙස සටහන් වූ අතර, අමෙරිකානු (WTI) බොරතෙල් මිල ද 1.1%කින් පහළ ගොස් ඩොලර් 93.41ක් දක්වා අඩු වී තිබේ. කෙසේ වෙතත්, මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර එය ඩොලර් 111.81ක් ලෙස වාර්තා වේ. මැදපෙරදිග පවතින දේශපාලනික අස්ථාවරත්වය හමුවේ බොරතෙල් සැපයුම පිළිබඳව පවතින අවිනිශ්චිතතාවය හේතුවෙන් වෙළෙඳපොළ මිල ගණන් මෙලෙස නිරන්තර වෙනස්වීම්වලට ලක්වෙමින් පවතී.














