ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ පවතින දැඩි නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රමුඛතාවන් පැහැදිලි කර තිබේ. ඔහු පවසන්නේ ඉහළ යන තෙල් මිලට වඩා ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීම වැළැක්වීම තමන්ට “වඩාත් වැදගත්” බවයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමත් සමඟ ලෝකයම ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටියද, ට්‍රම්ප් පෙන්වා දෙන්නේ ලොව විශාලතම තෙල් නිෂ්පාදකයා වන ඇමෙරිකාව, මිල ඉහළ යාම හරහා ලාභ ලබන බවයි. “ඇමෙරිකාව ලොව විශාලතම තෙල් නිෂ්පාදකයා බැවින් මිල ඉහළ යන විට අප විශාල මුදලක් උපයනවා. නමුත් ඊට වඩා මට වැදගත් වන්නේ ඉරානය වැනි ‘දුෂ්ට අධිරාජ්‍යයක්’ න්‍යෂ්ටික අවි ලබා ගැනීම වැළැක්වීමයි” යනුවෙන් ඔහු ‘Truth Social’ හි සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
යුද්ධය ඉක්මනින් අවසන් වන බව එක් පසෙකින් පවසන අතරම, ඇමෙරිකානු හමුදා මෙහෙයුම් තවමත් අවසන් වී නොමැති බව ද ට්‍රම්ප් අවධාරණය කරයි. ඉරානය න්‍යෂ්ටික බලවතෙකු වී මැදපෙරදිග සහ ලෝකය විනාශ කිරීමට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.















