ඇමෙරිකානු ඉතිහාසයේ පෙර නොවූ විරූ පියවරක් තබමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (01) එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය. නීති විරෝධී ලෙස හෝ තාවකාලිකව ඇමෙරිකාවේ රැඳී සිටින දෙමාපියන්ට දාව එරට තුළ උපදින දරුවන්ට හිමිවන ස්වයංක්‍රීය පුරවැසිභාවය අහෝසි කිරීම සඳහා ඔහු නිකුත් කළ විධායක නියෝගය සම්බන්ධයෙන් පැවැති වාද විවාදවලට සවන් දීම සඳහා ඔහු මෙලෙස අධිකරණයට පැමිණ සිටියේය.
ජනාධිපතිවරයා සමඟ නීතිපතිනි පැම් බොන්ඩි (Pam Bondi) සහ වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් (Howard Lutnick) ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. තමා විසින්ම පත් කරන ලද විනිසුරුවරුන් තිදෙනෙකු ඇතුළු විනිසුරු මඩුල්ල, රජයේ නීතිඥයන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීම විශේෂත්වයකි. පැය එකහමාරක පමණ කාලයක් අධිකරණයේ රැඳී සිටි ට්‍රම්ප්, විරුද්ධ පාර්ශවයේ තර්ක ඉදිරිපත් කරන අවස්ථාවේදී එතැනින් පිටව ගොස් තිබේ.
අධිකරණයෙන් පිටතට පැමිණි ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ, “උප්පැන්න පුරවැසිභාවයට ඉඩ දෙන ලොව එකම මෝඩ රට ඇමෙරිකාව” බවයි. කෙසේ වෙතත්, ලොව රටවල් 30කට අධික සංඛ්‍යාවක මෙම නීතිය ක්‍රියාත්මක වේ. තමා විසින් පත් කළ විනිසුරුවරුන් තමාට එරෙහිව අදහස් දැක්වීම පිළිබඳව සිය දැඩි කෝපය පළ කළ ට්‍රම්ප්, ඔවුන්ගේ දේශප්‍රේමීභාවය ද ප්‍රශ්න කර ඇත. නීති විශාරදයන් පවසන්නේ ජනාධිපතිවරයා අධිකරණයට පැමිණීම විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ උත්සාහයක් විය හැකි නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය හමුවේ එය සාර්ථක නොවනු ඇති බවයි.














