ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බ්‍රිතාන්‍යය ඇතුළු සිය මිත්‍ර රටවල් වහාම යුද නැව් එවිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. චීනය, ප්‍රංශය, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවල් ද මෙම මෙහෙයුමට එක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඔහු සිය Truth Social ගිණුම හරහා අවධාරණය කර ඇත. ඉරානයේ හමුදා ශක්තිය දැනටමත් විනාශ කර ඇති බව පවසන ට්‍රම්ප්, එහෙත් ඉරානය විසින් මුහුදේ පතල් ඇටවීම හෝ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බැවින් මෙම ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍ය බව පෙන්වා දෙයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය ගෙන ඇති තීරණය හමුවේ ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඕනෑම මොහොතක ඉරානයේ ප්‍රධාන තෙල් මධ්‍යස්ථානයක් වන ඛාර්ග් දූපතේ යටිතල පහසුකම් විනාශ කරන බවට ද ට්‍රම්ප් අනතුරු අඟවයි. ඉකුත් සිකුරාදා ඛාර්ග් දූපතට එල්ල කළ ගුවන් ප්‍රහාරය මැදපෙරදිග ඉතිහාසයේ එල්ල වූ ප්‍රබලම ප්‍රහාරයක් බව පැවසූ ඔහු, හෝමූස් සමුද්‍ර සන්ධිය “නිදහස් සහ ආරක්ෂිත” කලාපයක් බවට පත් කරන තෙක් අමෙරිකාව ඉරාන වෙරළ තීරයට දිගින් දිගටම බෝම්බ හෙලන බවට සපථ කර සිටියි.
මේ අතර, බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ කලාපයේ නාවික කටයුතුවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත හැකි විවිධ ක්‍රියාමාර්ග පිළිබඳව සිය මිත්‍ර පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. ඉරානය පවසන්නේ අමෙරිකාව හෝ ඊශ්‍රායලය සමඟ ගනුදෙනු කරන ඕනෑම තෙල් නැවක් තමන්ට නීත්‍යානුකූල ඉලක්කයක් වන බවයි. පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී නෞකා 16කට පමණ ප්‍රහාර එල්ල වී ඇති බව බ්‍රිතාන්‍ය නාවික වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) තහවුරු කරයි.














