ඉරානය සමග පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය යන සාම්ප්‍රදායික මිත්‍ර රටවල් දෙක අතර දැඩි මතභේදයක් හටගෙන තිබේ. ඉරානයට පහර දීම සඳහා අමෙරිකාවට සිය හමුදා කඳවුරු ලබාදීම බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් විසින් මුලින් ප්‍රතික්ෂේප කිරීම මෙයට ප්‍රධානතම හේතුවයි.
මෙම තත්ත්වය හමුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, බ්‍රිතාන්‍යය මේ වන විට ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් මැදපෙරදිගට එවීමට සලකා බලමින් සිටින බවත්, නමුත් යුද්ධය ජය ගැනීමට දැන් ඔවුන්ගේ සහාය තමන්ට අවශ්‍ය නොවන බවත්ය. “අප දැනටමත් යුද්ධය ජයග්‍රහණය කළ පසු ඊට එක්වන පිරිස් අපට අවශ්‍ය නැහැ. බ්‍රිතාන්‍යය දැක්වූ මෙම සහයෝගය නොදක්වන පිළිවෙත මා මතක තබා ගන්නවා” යැයි ට්‍රම්ප් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අගමැති කීර් ස්ටාර්මර් පවසා සිටියේ ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයක් නීත්‍යානුකූල සහ මැනවින් සැලසුම් කළ එකක් විය යුතු බැවින් අමෙරිකාවට කඳවුරු ලබාදීම ප්‍රවේශමෙන් තීරණය කළ යුතු වූ බවයි. කෙසේ වෙතත්, පසුව ඔහු ඉරාන මිසයිල ගබඩා ඉලක්ක කරගත් “ආරක්ෂක ප්‍රහාර” (Defensive Strikes) සඳහා අමෙරිකාවට සිය කඳවුරු භාවිත කිරීමට අවසර ලබා දුන්නේය. බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ‘Prince of Wales’ නෞකාව සූදානම් කරමින් සිටින පසුබිමක ට්‍රම්ප් කළ මෙම ප්‍රකාශය දෙරටේ දීර්ඝකාලීන මිත්‍රත්වයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.














