මැදපෙරදිග පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ ඉරානයට එල්ල කරන ප්‍රහාර සඳහා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිත කිරීමට අමෙරිකාවට අවසර දීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කළ විවේචන බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාමර් (Sir Keir Starmer) විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා ග්ලොස්ටර්ෂයර්හි (Gloucestershire) පිහිටි RAF Fairford කඳවුර සහ ඉන්දීය සාගරයේ පිහිටි දියාගෝ ගාර්ෂියා (Diego Garcia) දූපත භාවිත කිරීමට අවසර දීමට අගමැතිවරයා මුලින් අකමැත්ත පළ කළ ද, පසුව ඔහු එම තීරණය වෙනස් කළේය.
ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රමාදය දැඩි ලෙස විවේචනය කරමින් කියා සිටියේ, බ්‍රිතාන්‍යය මෙම තීරණය ගැනීමට “වැඩි කාලයක්” වැය කළ බවත්, අතීතයේ පටන් දෙරට අතර පැවති ශක්තිමත් සබඳතාව දැන් පළුදු වී ඇති බවත්ය. “ඔහු (ස්ටාමර්) මෙයට උදව් කළ යුතුව තිබුණා. ප්‍රංශය ඇතුළු අනෙකුත් යුරෝපීය රටවල් ඉතා හොඳින් සහයෝගය දුන්නා. නමුත් බ්‍රිතාන්‍යයේ හැසිරීම වෙනස්,” යනුවෙන් ට්‍රම්ප් ‘The Telegraph’ පුවත්පතට පවසා තිබුණි.
මෙම විවේචනවලට පිළිතුරු දෙමින් අගමැති ස්ටාමර් අවධාරණය කළේ තමා සැමවිටම කටයුතු කරන්නේ බ්‍රිතාන්‍යයේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන් බවයි. ඉරානය විසින් කලාපයේ රටවල් වෙත එල්ල කරන ලද සිය ගණනක මිසයිල සහ දහස් ගණනක ඩ්‍රෝන ප්‍රහාර හමුවේ බ්‍රිතාන්‍ය වැසියන්ගේ ජීවිත සහ මිත්‍ර රටවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම තීරණය ගත් බව ඔහු පැහැදිලි කළේය. ඉරානයේ ක්‍රියාකලාපය තවදුරටත් නොසලකා හැරිය නොහැකි මට්ටමට පැමිණ ඇති බැවින්, සාමූහික ආත්මාරක්ෂාව සඳහා අමෙරිකාවට මෙම සහය ලබා දුන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














