ඉරානය සමඟ පවතින යුද්ධයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරන ආකාරය සහ එහි කාලසීමාව පිළිබඳව අමෙරිකානු ජනාධිපති මන්දිරය හෙවත් වයිට් හවුස් අභ්‍යන්තරයේ දැඩි මතභේදයක් හටගෙන තිබේ. මෙම තත්ත්වය හමුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද්ධයේ ප්‍රගතිය පිළිබඳව සිදු කරන ප්‍රකාශයන් ද වරින් වර වෙනස් වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැදපෙරදිග කලාපය පුරා ගැටුම් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, යුද්ධයේ ජයග්‍රහණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ජනාධිපතිවරයාගේ උපදේශකයන් අතර විවිධ අදහස් මතු වී ඇත. ඇතැම් ඉහළ නිලධාරීන් පෙන්වා දෙන්නේ ඉරානයට එල්ල කරන අමෙරිකා – ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හේතුවෙන් ඉහළ යන ඉන්ධන මිල (Gasoline prices), ඉදිරියේදී ජනාධිපතිවරයාට දේශපාලනික වශයෙන් දැඩි අවාසියක් ගෙන දිය හැකි බවයි.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ උපදේශක මණ්ඩලයේ සිටින දැඩි මතධාරීන් පිරිසක් පවසන්නේ ඉරානයට එරෙහිව දියත් කර ඇති ප්‍රහාරාත්මක මෙහෙයුම එලෙසම පවත්වාගෙන යා යුතු බවයි. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම අභ්‍යන්තර මත ගැටුම හේතුවෙන් යුද්ධයේ මීළඟ තීරණාත්මක පියවර ගැනීම සංකීර්ණ වී ඇති අතර එය ගෝලීය බලශක්ති වෙළෙඳපොළ කෙරෙහි ද සෘජුව බලපාමින් තිබේ.















