රතු මුහුදේ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුමේ නිරතව සිටි ඇමරිකානු නාවික හමුදාව සතු ලොව විශාලතම සහ නවීනතම ගුවන් යානා වාහක නෞකාව වන ‘USS ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ්’ (USS Gerald R. Ford) නෞකාව හදිසි ගින්නකට ලක්වීමෙන් පසු අලුත්වැඩියා කටයුතු සඳහා ග්‍රීසියේ ක්‍රීට් දූපතේ පිහිටි සූඩා බොක්ක (Souda Bay) නාවික කඳවුර වෙත ගමන් කරමින් සිටී. මාර්තු 12 වන දින නෞකාවේ රෙදි සෝදන අංශයේ (Laundry area) හටගත් මෙම ගින්න පාලනය කිරීමට නාවිකයින්ට පැය කිහිපයක් ගත වී ඇති අතර, ඉන් නෞකාවේ අභ්‍යන්තර කොටස්වලට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
මෙම අනතුරින් එක් නාවිකයෙකු බරපතල තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇත. ගින්නෙන් නැගුණු අධික දුමාරය ආඝ්‍රාණය වීම හේතුවෙන් නාවිකයින් 200කට අධික පිරිසක් පීඩාවට පත්වූ අතර, නිදන කුටිවලට සිදු වූ හානි නිසා ‘USS ජෝන් එෆ්. කෙනඩි’ නෞකාවේ සිට මෙට්ට 1,000ක් සහ නව නිල ඇඳුම් 2,000ක් පමණ ගුවන් මගින් ගෙන්වා ගැනීමට ඇමරිකානු බලධාරීන් පියවර ගෙන තිබේ. නෞකාවේ අලුත්වැඩියා කටයුතු සඳහා සතියකට වඩා වැඩි කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා ඇත.
ඇමරිකානු නිල වාර්තා පවසන්නේ මෙය අභ්‍යන්තර තාක්ෂණික දෝෂයක් නිසා හටගත් ගින්නක් බව වුවද, ඉරාන හිතවාදී මාධ්‍ය ජාලයන් පෙන්වා දෙන්නේ ඉරානය විසින් එල්ල කරන ලද නවීන මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් නෞකාවට මෙලෙස බරපතල හානි සිදුව ඇති බවයි. කෙසේ වෙතත්, මෙම බාධාවන් මධ්‍යයේ වුවද නෞකාව සිය මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුකිරීමට උත්සාහ කරමින් සිටින බව ඇමරිකානු නාවික හමුදාව අවධාරණය කරයි.













