ඇමරිකානු නාවික හමුදාව සතු ලොව විශාලතම සහ නවීනතම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන USS ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් (CVN 78) නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ සිට ඉරානයට එරෙහි “ඔපරේෂන් එපික් ෆියුරි” (Operation Epic Fury) මෙහෙයුමට සක්‍රීයව දායකත්වය ලබා දීම අද (02) ආරම්භ කර තිබේ. ඩොලර් බිලියන 13.3ක් වටිනා මෙම දැවැන්ත යුද නෞකාව ඊශ්‍රායලයේ හයිෆා (Haifa) වරායට ආසන්න මුහුදේ ස්ථානගත කර ඇති අතර, එය ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කරන “පලිහක්” (Shield) ලෙස මෙන්ම ඉරානයට ප්‍රහාර එල්ල කරන ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියා කරයි. නෞකාවේ සිට දියත් කරන ලද E/A-18G ග්‍රෝලර් (Growler) ඉලෙක්ට්‍රොනික යුද යානා සහ F/A-18E/F සුපර් හෝනට් (Super Hornet) ප්‍රහාරක යානා මගින් ඉරානයේ ගුවන් ආරක්ෂණ පද්ධති අඩපණ කිරීමට සහ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කර ඇත.
මෙම නෞකාව සමඟ පැමිණි විනාශකාරී නෞකා (Destroyers) මගින් ද ඉරානයේ මිසයිල ගබඩා ඉලක්ක කර ‘ටොමහෝක්’ (Tomahawk) මිසයිල රැසක් දියත් කර ඇති අතර, ෆෝර්ඩ් නෞකාව සතු දියුණු රේඩාර් පද්ධතිය මගින් ඉරානයෙන් එල්ල වන දිගුදුර මිසයිල කල්තියා හඳුනාගෙන ඒවා විනාශ කිරීමට ඊශ්‍රායලයේ ‘අයන් ඩෝම්’ පද්ධතියට සහාය ලබා දෙයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම නෞකාව කලාපයට එවීමට ගත් තීරණය හරහා ඇමරිකාවේ නාවික බලය (Naval Power Projection) මැනවින් ප්‍රදර්ශනය වන බවත්, ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට මුහුදේ සිට ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට මෙය සූදානම් කර ඇති බවත් පෙන්ටගනය පවසයි. මෙම නෞකාව මෙහෙයුමට එක්වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුද ශක්තියේ සමබරතාවය ඇමරිකාව දෙසට තීරණාත්මක ලෙස නැඹුරු වී තිබේ.















