ඇමෙරිකානු නාවික හමුදාවට අයත් “USS Tripoli (LHA-7)” නමැති ප්‍රහාරක නෞකාව ප්‍රමුඛ කරගත් යුද බලඇණියක් මේ වන විට ඉන්දියන් සාගරය හරහා මැදපෙරදිග කලාපය දෙසට ගමන් කරමින් සිටින බව ඇමෙරිකානු මධ්‍යම විධානය (CentCom) තහවුරු කරයි. ඉරානය සමඟ පවතින යුදමය උණුසුම හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය ඇතුළු ප්‍රධාන මුහුදු මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණයි.
ජපානයේ සසෙබෝ (Sasebo) සිට පිටත්ව ඇති මෙම නෞකාව සමඟ 31 වන මැරීන් බලකායට (31st Marine Expeditionary Unit) අයත් ප්‍රභූ නාවික භටයින් සහ මැරීන් සෙබළුන් 3,500ක පමණ පිරිසක් පැමිණෙති. මෙම නෞකාව සතු විශේෂත්වය වන්නේ F-35B Lightning II වර්ගයේ අතිනවීන රේඩාර්වලට හසු නොවන (Stealth) ප්‍රහාරක යානා, ඔස්ප්‍රේ (Osprey) යානා සහ ප්‍රහාරක හෙලිකොප්ටර් දියත් කිරීමේ හැකියාව පැවතීමයි.
පසුගිය මාර්තු 29 වනදා මලක්කා සමුද්‍ර සන්ධිය පසු කරමින් ඉන්දියන් සාගරයට පිවිසි මෙම බලඇණිය, “ශක්තිය තුළින් සාමය” (Peace Through Strength) යන තේමාව යටතේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා සෘජු දායකත්වයක් ලබා දීමට නියමිතය. ඕනෑම හදිසි අවස්ථාවකදී ගුවන් ප්‍රහාර එල්ල කිරීමට හෝ ගොඩබිම් මෙහෙයුම් සඳහා සහාය වීමට මෙම නෞකාව සූදානම්ව පවතී.















