රාජස්ථාන් රෝයල්ස් (RR) කණ්ඩායම සමඟ සිය දෙවැනි IPL තරඟ වාරයට පිවිසෙන 15 හැවිරිදි ප්‍රබල පිතිකරු වයිභව් සූරියවංශි (Vaibhav Sooryavanshi), සිය ක්‍රීඩා උපායමාර්ගය පිළිබඳව අදහස් දක්වා තිබේ. පසුගිය තරඟ වාරයේදී තරඟ 7කදී ලකුණු 252ක් රැස් කරමින්, පන්දු 35කදී වාර්තාගත ශතකයක් ද ලබාගත් ඔහු, මෙවර ද පන්දුවට පහරදීමේ මුල් ඕවර කිහිපය තුළ (Powerplay) ප්‍රතිවාදී පන්දු යවන්නන් මෙල්ල කිරීම සිය ප්‍රධාන අරමුණ බව පවසයි.
Powerplay ඕවර තුළ කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දීමෙන් පසු, අනවශ්‍ය ලෙස සිය කඩුල්ල පූජා නොකර ලකුණු 200 සීමාව දක්වා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව රැගෙන යාම තමන්ගේ අරමුණ බව ඔහු සඳහන් කළේය. “මම මගේ පහරවල් කරා ගියොත් තරඟයේ ස්වරූපය වෙනස් වන බව මම දන්නවා, මොකද ලකුණු 200කට වඩා හඹා යාම ඕනෑම කණ්ඩායමකට පහසු නැහැ,” යනුවෙන් ඔහු JioStar සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත.
මෙවර IPL තරඟාවලියේදී සිය කණ්ඩායමට ශූරතාව දිනා දීම තමන්ගේ ප්‍රධානතම අභිප්‍රාය බව සූරියවංශි අවධාරණය කළේය. මේ වසරේ මුල් භාගයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ලකුණු 175ක් රැස් කරමින් දැක්වූ අතිවිශිෂ්ට දක්ෂතාවය ද සමඟින්, ඔහු මේ වන විට ඉන්දීය ක්‍රිකට් අනාගතයේ බලාපොරොත්තුව බවට පත්ව සිටී.














