වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට අනුයුක්තව සේවය කළ ප්‍රජා විශෝධන නිලධාරියෙකු රුපියල් දසදහසක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය. මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඇප මත සිටි සැකකරුවෙකුට අවශ්‍ය ලේඛන සකස් කර දීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා තිබුණි.
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, උපාය දූතයෙකු යොදවා සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඔහු වසර 37ක සේවා කාලයක් හිමි නිලධාරියෙකු බව පවසමින් ඇප ඉල්ලා සිටියද, විමර්ශන කටයුතු තවදුරටත් සිදුකිරීමට ඇති බැවින් මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.














