2016 වසරේ පෙබරවාරි 16 වැනිදා වවුනියාව, බණ්ඩාරිකුලම් උක්කුලන්කුලම් ප්‍රදේශයේ සිය නිවසේ තනිව සිටියදී කෙන්ගතරන් හරිස්නාවි නමැති 16 හැවිරිදි දැරිය දූෂණය කර ඉතා කෲර ලෙස ඝාතනය කර තිබුණි. මෙම අපරාධය සම්බන්ධයෙන් වවුනියාව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින නමුත්, ගත වූ දශකයක කාලය පුරාම සිදු වූයේ නඩුව වාර ගණනාවකදී කල් යාම පමණක් බව ඥාතීන් සිය ලිපිය මඟින් පෙන්වා දෙයි.
සැබෑ අපරාධකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන දඬුවම් පමුණුවා නොමැති බැවින්, මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ සෘජු අවධානය යොමු කරන ලෙසත්, පොලීසිය ලවා විධිමත් පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි. දස වසරක් ගත වී ඇතත් තම දියණියට අත් වූ ඉරණමට සාධාරණයක් ඉටු නොවීම පිළිබඳව ඥාතීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද දැඩි කනස්සල්ලෙන් පසුවේ.
මෙම සිදුවීම මඟින් මෙරට අපරාධ පරීක්ෂණ සහ අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන් වින්දිතයන්ට මුහුණ දීමට සිදු වන අගතිය නැවත වරක් සමාජ කතාබහට ලක් කර තිබේ. විශේෂයෙන්ම බාලවයස්කාර දරුවන්ට එරෙහිව සිදුවන මෙවැනි බරපතළ අපරාධ සම්බන්ධයෙන් කඩිනම් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කෙරේ.














