Vector Agents සමාගම සිය යාවත්කාලීන කරන ලද ඩිජිටල් සේවක වේදිකාව (Digital Worker Platform) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම නවතම පද්ධතිය නිර්මාණය කර ඇත්තේ මීළඟට එළඹෙන ඩිජිටල් සේවකයන්ගේ යුගය ඉලක්ක කරගනිමිනි. කෘතිම බුද්ධියෙන් (AI) බලගැන්වෙන මෙම ඩිජිටල් සේවකයන් ව්‍යාපාරවල එදිනෙදා මූලික මෙහෙයුම් කටයුතුවලට සෘජුවම දායක කරවා ගැනීම මෙහි මූලික අරමුණයි.මීට පෙර සීමිත සේවාදායකයින් පිරිසක් සමඟ අත්හදා බැලූ මෙම පද්ධතිය මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති අතර සමාගමේ දිගුකාලීන දැක්ම වන්නේ සෑම දෙපාර්තමේන්තුවකම මානව වෘත්තිකයන් සමඟ උරෙන් උර බලා වැඩ කළ හැකි බලවත් AI ඩිජිටල් සේවකයන් සිටින අනාගතයක් බිහි කිරීමයි. සාම්ප්‍රදායික ස්වයංක්‍රීය මෙවලම් හෝ චැට්බොට් (Chatbots) මෙන් නොව, ඔවුන් විකුණුම්, මූල්‍ය, පාරිභෝගික සේවා සහ මානව සම්පත් වැනි අංශ හරහා බහු-පියවර හෙවත් ආරම්භයේ සිට අවසානය දක්වා වූ සමස්ත කාර්ය ප්‍රවාහයන්ම ඉතා විශ්වාසදායක ලෙස ක්‍රියාත්මක කිරීමට සමත් වෙනවා.”සෑම සමාගමකම සෑම අංශයකටම තමන්ගේම කියා AI කණ්ඩායම් සගයෙකු සිටිනු ඇතැයි අප විශ්වාස කරනවා” යනුවෙන් Vector Agents සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජීවන් ඥානම් මහතා සඳහන් කළා. සමාගමේ ප්‍රධාන දැක්ම වන්නේ “ඩිජිටල් සේවකයින් – මානව ප්‍රතිඵල” (Digital Workers, Human Outcomes) යන්නයි. මේ හරහා AI යනු හුදෙක් පසෙක පවතින සේවාවක් ලෙස නොව, ආයතනයක ප්‍රධාන ක්‍රියාවලීන් සහ කණ්ඩායම් සමඟ සෘජුවම බද්ධ වෙමින් වැඩ කටයුතු සිදු කෙරෙන ආකාරයේ විශ්වාසදායක පදනම බවට පත් වනු ඇතැයි ඔහු විශ්වාස කරනවා.සමාගම දැනට ප්‍රධාන අංශ හතරක් ආවරණය වන පරිදි භූමිකාවන් මත පදනම් වූ ඩිජිටල් සේවකයන් හතර දෙනෙකු හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව විකුණුම් අංශය සඳහා ‘Lilian’ ද, මූල්‍ය අංශය සඳහා ‘Bradley’ ද, පාරිභෝගික සේවා සඳහා ‘Rhea’ ද සහ මානව සම්පත් අංශය සඳහා ‘Blake’ ද කටයුතු කිරීමට නියමිතයි. මෙම සෑම ඩිජිටල් සේවකයෙකුම පවතින ආයතනික පද්ධතියට පහසුවෙන් අනුගත වෙමින්, ආයතනයට ආවේණික ක්‍රියාවලීන් උගෙන මානව සේවකයන් සමඟ එක්ව ඵලදායිතාව සහ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීමට කටයුතු කරනවා.














