ත්‍රිකුණාමලයේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට අයත් ඉඩම් ඉන්දීය ව්‍යාපාරිකයන්ට හෝටලයක් ඉදිකිරීම සඳහා පැවරීමට රජය උත්සාහ කරමින් සිටින බව බළන්ගොඩ කස්සප හිමියෝ පවසති. කොළඹ පිහිටි බෞද්ධ මහා සම්මේලනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව අවධාරණය කළහ.
වර්තමාන රජය ඉන්දියාව සමඟ ඇති කරගත් ගිවිසුම්වලට අනුව නැගෙනහිර පළාතේ ඉඩම් මෙලෙස විදේශයන්ට ලබාදීමට සැලසුම් කර ඇති බවත්, එයට බාධාවක්ව පවතින මහා සංඝරත්නය හා බෞද්ධ ජනතාව මර්දනය කිරීමට රජයේ නිලධාරීන් හා පොලිසියේ ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවත් උන්වහන්සේ චෝදනා කළහ. විහාරස්ථානය සම්බන්ධයෙන් විවිධ මඩ ප්‍රචාර පතුරුවමින් මහා සංඝරත්නයට තර්ජනය කරනු ලබන්නේ මෙම භූමිය අත්පත් කරගැනීමේ අරමුණින් බව පෙන්වා දුන් කස්සප හිමියෝ, මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඉදිරි නීතිමය පියවර ගන්නා බව ද වැඩිදුරටත් සඳහන් කළහ.














