වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් තමන්ට එරෙහිව එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ප්‍රතික්ෂේප කරමින් අද (2026 මාර්තු 26) නිව්යෝර්ක් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට නියමිත බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. පසුගිය ජනවාරි මාසයේ පැවති නඩු විභාගයෙන් පසුව ඔවුන් අධිකරණය හමුවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.
63 හැවිරිදි මදුරෝ සහ 69 හැවිරිදි ෆ්ලෝරස් දැනට බෘක්ලින්හි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින අතර ඔවුන් මෙතෙක් ඇප ඉල්ලා නොමැත. පසුගිය ජනවාරි 03 වැනිදා වෙනිසියුලාවේ කැරකස් නුවරදී ඇමෙරිකානු විශේෂ හමුදා විසින් තමන්ව පැහැරගත් බවට මදුරෝ චෝදනා කරන අතර, ඔහුට එරෙහි සියලු චෝදනා ඔහු ප්‍රතික්ෂේප කර තිබේ. ඔහුගේ නීතිඥයන් තර්ක කරන්නේ ඇමෙරිකානු රජය විසින් වෙනිසියුලානු රජයේ අරමුදල් අවහිර කිරීම හේතුවෙන් මදුරෝගේ නීතිමය වියදම් පියවා ගැනීමට බාධා එල්ල වී ඇති බවයි.
මේ අතර වෙනිසියුලාව තුළ මදුරෝගේ පාලක පක්ෂය තවමත් බලයේ පසුවන නමුත්, වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් (Delcy Rodriguez) යටතේ මදුරෝට හිතවත් නිලධාරීන් ඉවත් කරමින් පාලන තන්ත්‍රය ප්‍රතිසංවිධානය කරමින් පවතින බව වාර්තා වේ. කෙසේ වෙතත්, වෙනිසියුලානු ජනතාව අතර තවමත් මදුරෝට යම් සහයෝගයක් පවතින අතර ඔහු නැවත සිය රටට ලබා දෙන ලෙස ඉල්ලමින් කැරකස් අගනුවර විරෝධතා බිතුසිතුවම් ද ප්‍රදර්ශනය කර තිබේ.














