වෙනිසියුලාවට එරෙහිව පනවා ඇති සම්බාධක උල්ලංඝනය කරමින් තෙල් ප්‍රවාහනය කළ ‘වෙරෝනිකා III’ (Veronica III) නමැති නෞකාව ඉන්දීය සාගරයේදී ඇමරිකානු ආරක්ෂක අංශ විසින් සිය පාලනයට ගෙන තිබේ. පැනමාවේ ධජය යටතේ ලියාපදිංචි කර තිබූ මෙම නෞකාව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලාවට පනවන ලද නාවික අවහිරතාවලින් මිදී පලායාමට උත්සාහ කර ඇති බව පෙන්ටගනය සඳහන් කරයි. කැරිබියන් මුහුදේ සිට ඉන්දීය සාගරය දක්වා මෙම නෞකාව පසුපස හඹා ආ ඇමරිකානු හමුදා, හෙලිකොප්ටර් යානා ආධාරයෙන් නෞකාව වෙත ගොඩවැද එය අත්අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද ප්‍රසිද්ධ කර ඇත.
පසුගිය ජනවාරි 03 වැනිදා වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකානු විශේෂ බලකායන් විසින් අත්අඩංගුවට ගත් දිනයේම මෙම නෞකාව ද වෙනිසියුලාවෙන් පිටව ගොස් ඇත්තේ බොරතෙල් බැරල් මිලියන 2ක් පමණ රැගෙනය. ට්‍රම්ප් පරිපාලනය වෙනිසියුලාවේ තෙල් සම්පත සිය පාලනයට නතු කරගැනීම සඳහා දියත් කර ඇති පුළුල් මෙහෙයුමක කොටසක් ලෙස මෙලෙස නෞකා අත්අඩංගුවට ගැනීම් සිදුවේ. ඇමරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් පවසන පරිදි, මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු වෙනිසියුලානු තෙල් අලෙවියෙන් පමණක් ඇමරිකාව දැනටමත් ඩොලර් බිලියනයකට අධික ආදායමක් උපයා ඇති අතර ඉදිරි මාසවලදී එය තවත් ඩොලර් බිලියන 5කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.














