ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා බත්තරමුල්ල, අකුරේගොඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දින විස්සකට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 3 වැනිදා අභාවප්‍රාප්ත විය. හදිසි අවශ්‍යතාවක් සඳහා කුලී යතුරුපැදියක පසුපස අසුනේ ගමන් කරමින් සිටියදී, බීමත් රියදුරෙකු පදවාගෙන ආ මෝටර් රථයක ගැටීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව වාර්තා වේ. මිය යන විට 47 වැනි වියේ පසු වූ ඒ මහතා, ක්ෂේත්‍රය තුළ නිර්මාණශීලී මෙන්ම අභීත මාධ්‍යවේදියෙකු ලෙස කාගේත් ගෞරවයට පාත්‍ර වූවෙකි.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ භක්ති මෙන්ඩිස් මහතා, 2000 වසරේදී ලක්බිම පුවත්පතේ සමාරම්භක කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. පසුව දිනමිණ, රිවිර ඇතුළු ලේක්හවුස් පුවත්පත්වල මෙන්ම හිරු රූපවාහිනී නාලිකාවේ ද සේවය කරමින් ආරක්ෂක සහ දේශපාලන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සිය දක්ෂතා විදහා දැක්වීය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුගතපාල මෙන්ඩිස් මහතාගේ පුත්‍රයා වූ ඔහු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉමේෂා ධර්මසේන මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන අතර එක් දරු පියෙකු ද වේ.
සැමවිටම සිනහමුසු මුහුණින් යුත් සහෘද සගයෙකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ සැමගේ ආදරය දිනා සිටි ඔහුගේ දේහය මේ වන විට ගාල්ල, බූස්ස ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (අප්‍රේල් 6) පස්වරු 5.00ට ගාල්ල දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. හදිසි අනතුරකින් අකාලයේ දිවියෙන් සමුගත් මෙම ප්‍රවීණ මාධ්‍යවේදියාගේ අභාවය මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට පිරවිය නොහැකි විශාල පාඩුවකි.














