ඉරානය සහ ගල්ෆ් කලාපයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර හේතුවෙන් ඇතිවිය හැකි ඉන්ධන හිඟය පිළිබඳ සැකය මත වියට්නාම රජය පෙරේදා (බ්‍රහස්පතින්දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල විශාල ලෙස ඉහළ නංවා තිබේ. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 20%කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල වියට්නාම ඩොන්ග් 30,690ක් (ඇමරිකානු ඩොලර් 1.20ක් පමණ) වේ.
මීට අමතරව ඩීසල් මිල ද 34%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල ඩොන්ග් 33,420ක් ලෙස සටහන් වේ. ඇමරිකාව සහ ඉශ්‍රායලය ඉරානය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඉන්ධන සැපයුම අඩාල වීම පාලනය කිරීම සඳහා සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට (Work from home) දිරිමත් කරන ලෙස වියට්නාම වෙළඳ අමාත්‍යාංශය එරට ව්‍යාපාරික ආයතනවලින් ඉල්ලා සිටියි.
ඉරානයේ තෙල් පිරිපහදු ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර හේතුවෙන් අග්නිදිග ආසියාතික රටවල් රැසක් මේ වන විට දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටියි. ඉන්ධන මිල ඉහළ යාම නිසා එදිනෙදා භාණ්ඩ හා සේවා මිල ගණන් ද ඉහළ යා හැකි බවට එරට වැසියන් බිය පළ කරන අතර, හැනෝයි (Hanoi) ඇතුළු ප්‍රධාන නගරවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වේ.














