වියට්නාමයේ නව ජනපතිවරයා ලෙස ඊයේ (07) දිවුරුම් දුන් ටෝ ලෑම් (To Lam) මහතා ලබන සතියේදී චීනයේ නිල සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ජනපති ධුරයට පත්වීමෙන් පසු ඔහු සිදු කරන ප්‍රථම විදෙස් සංචාරය මෙය වන අතර, එහිදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරයේදී දෙරට අතර තාක්ෂණික, බලශක්ති සහ ආරක්ෂක සහයෝගිතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත. විශේෂයෙන්ම මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ හටගෙන ඇති බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සහ වියට්නාමයේ 5G ජාලය සඳහා චීන තාක්ෂණය භාවිතා කිරීම වැනි සංවේදී කරුණු පිළිබඳව මෙහිදී එකඟතාවලට පැමිණීමට නියමිත බව වාර්තා වේ. චීනය සහ වියට්නාමය අතර දකුණු චීන මුහුදේ පවතින දේශසීමා ගැටලු මධ්‍යයේ වුවද, ආර්ථික සහ ආරක්ෂක අංශවලින් දෙරට වඩාත් සමීප වෙමින් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ආසියාවේ ප්‍රබල ආර්ථිකයන් දෙකක් වන චීනය සහ වියට්නාමය අතර ඇති වන මෙම නව රාජ්‍යතාන්ත්‍රික සබඳතාව කලාපීය බල තුලනයට තීරණාත්මක වනු ඇත. ඉන්ධන හිඟය පියවා ගැනීම සඳහා වියට්නාමය චීනයෙන් ඉල්ලා ඇති සහය ද මෙම සංචාරයේ ප්‍රධාන මාතෘකාවක් වනු ඇතැයි සැලකේ.














