වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂ නායක තෝ ලෑම් (To Lam), එරට ජනාධිපති සහ රාජ්‍ය නායකයා ලෙස එරට මහා මණ්ඩලය විසින් ඒකමතිකව තේරී පත් කරගෙන තිබේ. ආසන 500 කින් සමන්විත මෙම මණ්ඩලයේ සියලු දෙනාගේම සහයෝගය ඔහුට හිමි වූ අතර, මෙය වියට්නාම දේශපාලන ඉතිහාසයේ පුද්ගලයෙකු වටා මෙතරම් විශාල බලයක් ඒකරාශී වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.
පසුගිය දශකය පුරා එරට ප්‍රබල මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ තෝ ලෑම්, රට පුරා ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී මෙහෙයුම්වලට නායකත්වය දෙමින් සිය දේශපාලන ප්‍රතිවාදීන් පරාජය කර බලය තහවුරු කර ගැනීමට සමත් විය. 2024 වසරේදී හිටපු ජනාධිපති වෝ වැන් තුඔන්ග්ගේ (Vo Van Thuong) ඉල්ලා අස්වීම සහ පක්ෂ නායක න්ගුයෙන් ෆු ට්‍රොන්ග්ගේ (Nguyen Phu Trong) අභාවයෙන් පසු ඔහු තාවකාලිකව එම තනතුරු හෙබවූ අතර, දැන් නිල වශයෙන් ඉදිරි වසර පහ සඳහා එම ඉහළම තනතුරු දෙකම දැරීමට ඔහුට අවස්ථාව ලැබී තිබේ.
සාමාන්‍යයෙන් වියට්නාම කොමියුනිස්ට් පක්ෂය බලය හවුලේ බෙදා හදා ගන්නා “කුළුණු පහේ” (Five Pillars) නායකත්ව ක්‍රමවේදයකට කැමැත්තක් දැක්වූවද, තෝ ලෑම් විසින් මෙලෙස බලය තනි අතකට ඒකරාශී කර ගැනීම චීන ජනාධිපති ෂී ජින්පින්ගේ පාලන විලාසයට සමාන බව විචාරකයෝ පෙන්වා දෙති. හමුදාව තුළ යම් විරෝධතාවක් පැවතියද, පක්ෂ සම්මේලනය හරහා අවශ්‍ය සහයෝගය ලබා ගනිමින් දශක කිහිපයකට පසු වියට්නාමයේ බිහි වූ බලවත්ම නායකයා බවට පත්වීමට ඔහු මෙලෙස සමත්ව ඇත.
















