එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූ බවට චෝදනා එල්ල වී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසකගේ නඩුව මාර්තු 18 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (09) නියම කළේය.
කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම සිද්ධියට අදාළව තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි මෙහෙයවීමට බලාපොරොත්තු වන බව අධිකරණයට දැනුම් දුන් අතර, එම කරුණු සැලකිල්ලට ගනිමින් නඩුවේ වැඩිදුර විභාගය එදිනට නියම කෙරිණි. අද දින පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ මොහොමඩ් මුසාමිල් යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටි අතර, රොජර් සෙනෙවිරත්න මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බවට ඔහුගේ නීතිඥයන් කරුණු ඉදිරිපත් කර තිබුණි.














