ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් පාලනය විසින් හඳුන්වා දී ඇති නව දණ්ඩ නීති සංග්‍රහය මගින් ස්වාමිපුරුෂයන්ට තම භාර්යාවන්ට සහ දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීමට අවසර ලබා දී තිබීම ජාත්‍යන්තරයේ දැඩි කතාබහට ලක්ව තිබේ. තාලිබාන් උත්තරීතර නායක හිබතුල්ලා අකුන්සාදා විසින් අත්සන් කරන ලද මෙම පිටු 90 කින් යුත් නව නීති මාලාවට අනුව, අස්ථි බිඳීමක් හෝ බරපතල තුවාලයක් සිදු නොවන තාක් කල් ස්වාමිපුරුෂයෙකුට සිය බිරිඳට හෝ දරුවන්ට පහර දීම වරදක් ලෙස නොසැලකේ. කිසියම් හෙයකින් බරපතල තුවාලයක් සිදු වුවහොත් පමණක් ස්වාමිපුරුෂයාට දින 15 ක කෙටි සිර දඬුවමක් නියම කළ හැකි නමුත්, වින්දිත කාන්තාව අධිකරණය හමුවේ එම අපයෝජනය ඔප්පු කළ යුතුය. එහිදී ඇය සිය සිරුර සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ඇඳුම් ඇඳ සිටිය යුතු අතර, ඇයව අධිකරණයට කැඳවාගෙන ආ යුත්තේ ද බොහෝ විට ඇයට පහර දුන් ස්වාමිපුරුෂයා හෝ පිරිමි ආරක්ෂකයෙකු (Mahram) වීම විශේෂත්වයකි.
මෙම නව දණ්ඩ නීති සංග්‍රහය මගින් ඇෆ්ගන් සමාජය පන්ති හතරකට බෙදා ඇති අතර, ආගමික වියතුන්, ප්‍රභූන්, මධ්‍යම පන්තිය සහ පහළ පන්තිය ලෙස එම වර්ගීකරණය සිදු කර ඇත. මෙහි ඇති වඩාත්ම ආන්දෝලනාත්මක කරුණ වන්නේ වරදක් සිදු කළ විට ලැබෙන දඬුවම පුද්ගලයාගේ සමාජ තරාතිරම අනුව තීරණය වීමයි. ඒ අනුව ඉහළ පෙළේ ආගමික වියතුන්ට ලැබෙන්නේ අවවාද කිරීම් පමණක් වන අතර, සාමාන්‍ය පහළ පන්තිවල ජනතාවට කස පහර දීම සහ සිරගත කිරීම් වැනි දරුණු දඬුවම් නියම වේ. මීට අමතරව, කාන්තාවකට සිය ස්වාමිපුරුෂයාගේ අවසරයකින් තොරව නෑදෑ හිතමිතුරන් බැලීමට යාම ද වරදක් ලෙස නම් කර ඇති අතර ඒ සඳහා මාස තුනක් දක්වා සිර දඬුවම් විඳීමට සිදු වේ.
මෙම තත්ත්වය “කාන්තා අයිතිවාසිකම් මකා දැමීමක්” ලෙස හඳුන්වමින් මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය දැඩි විරෝධය පළ කර ඇත. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රීම් අල්සාලෙම් පවසන්නේ මෙය ඇෆ්ගන් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට අතිශය බියකරු තත්ත්වයක් බවත්, එමගින් ගෘහස්ථ හිංසනය නීතිගත වී ඇති බවත්ය. ‘Rawadari’ වැනි මානව හිමිකම් කණ්ඩායම් මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින අතර, මෙම නව නීති පද්ධතිය හරහා ඇෆ්ගනිස්ථානය තුළ “ලිංගික වර්ණභේදවාදයක්” (Gender Apartheid) නිර්මාණය වී ඇති බව විදේශ දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.















