මානව හිමිකම්වලට මුවාවි ප්‍රචණ්ඩත්වය සහ අරාජිකත්වය ඇති කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” මම මේ විෂය ගැන කතා කරන්න කළින් ඊයේ පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ කරුණු දෙකක් ගැනත් විශේෂයෙන්ම සිහිපත් කළයුතුයි. මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා ප්‍රකාශ කළා ජනාධිපතිතුමාගේ සිතේ තුන් බිය ඇතිවෙලා තිබෙනවා කියලා. මම ඔබතුමාට කියන්න ඕන තුන්බිය පුද්ගලයෙකුට ඇතිවෙන්න බැහැ. තුන්බිය ඇතිවුනේ විශාලා මහනුවර. රෝග බිය, අමුනුෂ්‍ය බිය, මරණ බිය ඒක ජන සමූහයකට ඇති වෙන්න පුළුවන්. එතුමාට ඒ කරුණ පැහැදිළි කරගන්න රතන සූත්‍රයට ඇහුම්කන් දෙන්න කියලා මම කියනවා.. මරික්කාර් බිය, හිරුණිකා බිය රෝසි බිය තිබුණත් ඒවා තුන් බිය නොවෙයි.
ඒ වගේම මගේ මිත්‍ර විජිත හේරත් මහත්තයා ප්‍රකාශ කළා අරගලයට පින්සිදු වෙන්න ජනාධිපති පුටුවේ වාඩි වූ රනිල් වික්‍රමසිංහ අද අරගලය මර්දනය කරනවා කියලා. මම ජනාධිපති ධූරයට පත් වුනේ අරගලයේ පිනෙන් නොවේය. රටේ ජනාධිපති ධූරයෙන් ඉවත් වුණොත් ඒ තනතුර ගන්න ඕන අගමැති. අනික නීතියෙන් මම වැඩබලන ජනාධිපති වෙන්න තිබුණා. මට මේ ධූරයෙන් ඉවත් වෙන්න කියලා මගේ නිවස ගිනි තැබුවා.
ඒ වගේම අපේ විපක්ෂනායතුමත් අද මේ සභවේ දී ප්‍රකාශ කළා මම ජනාධිපතිකම ඉල්ලුවා කියලා. මම මේක ඉල්ලුවේ නැහැ. ඒ වෙනකොට රටේ ඇතිව තිබූ තත්ත්වය නිසා මම මේ ධූරය භාරගත්තා. මගෙන් මහනායක ස්වාමීන් වහන්සේලාත් මේ පිළිබඳ ඉල්ලීමක් කළා. මම ජනාධිපතිකම ඉල්ලුවේත් නැහැ. ලියුම් ලිව්වෙත් නැහැ. අද විපක්ෂනායතුමාට අමතක වෙලා තිබෙනවා මැයි 12 වෙනිදා එතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට යවපු ලිපිය.
“ගරු ජනාධිපතිතුමනි, විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බල සන්ධානයේ මූලිකත්වයෙන් අනෙක් පක්ෂ සමග එක්වී කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කරමි.
මගේ කතාවෙන් පස්සේ මේ සම්පූර්ණ ලිපිය හැන්සාර්ඩ් එකට ඇතුළත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එදා විපක්ෂනායකතුමාගේ උපදෙස් ගත්තා. ඔබතුමන්ලාට ඕනනම් ඒක පක්ෂ ව්‍යවස්ථාවේ බලන්න පුළුවන්. විනය පරික්ෂණයක් තියන්න පුළුවන්. මට බනින්න එපා. එතුමා තමයි කව්වේ නිශ්චිත, අවම කාල රාමුවක් තුළ ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට එකඟ වෙමි කියලා.ඉතින් මම අගමැති ධූරයේ දිවුරුම් දීලා මාස 02කට පස්සේ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වුණා. මම නොවෙයි ඔබතුමන්ලයි කිව්වේ එතුමාට ඉවත් වෙන්න කියලා. ඉතින් මම මොනව කරන්නද,
හමුදාව ගැන කතාකරනකොට සමහර අය ප්‍රකාශ කළ මෙවර අයවැයෙන් හමුදාව සඳහා වැඩි මුදලක් වෙන් කර තිබෙනවා කියලා. ඒ අය කියන විදියට හමුදාවේ වියදම පැය 24න් අඩු කරන්න බැහැ. එකපාරට සේවයේ සිටන 25,000ක් පාරට දාන්න බැහැ. අපි දැන් මේ සඳහා සැලැස්මක් හදාගෙන යනවා. ඒ අනුව කටයුතු කළයුතුයි. යුද හමුදාව වෙනුවෙන් මෙවර වැඩි වියදමක් දරන්න සිදුවුණා. එය අපට නවත්වන්න බැහැ. හමුදාවල සංඛ්‍යාව අඩු වුණත්, උසස්වීම් වැඩි වෙලා තිබෙනවා. එවැනි කරුණුත් මේ සඳහා බලපා තිබෙනවා.
අනිත් කරුණ දැන් අපි යුද හමුදාව ආහාර සුරක්ෂිතතා වැඩසටහන් සඳහා යොදවාගෙන තිබෙනවා. මෙම ගොවිපොළවලින් ආහාර සුරක්ෂිතතා වැඩසටහනට විශාල දායකත්වයක් ලැබෙනවා.
අපි හමුදවේ අනාගතය ගැන බලන්න ඕන. අපි ඒ සඳහා “Defense 2030″ වාර්තාව අනුව කටයුතු කරනවා. අපි අපේ ආරක්ෂක අංශ සැලසුම් කළයුතුයි.ලෝකයේ තර්ජනයක් නැහැ කියලා ඉන්න බැහැ. මෙම තත්ත්වයන් වෙනස් වෙනවා. 1971 තිබූ තර්ජනය නෙවේ, 80 ගණන්වල තිබුණේ, පාස්කු ඉරිදා සිදුවීම දෙස බලන විට එවැනි වෙනස් ආකාරයේ තර්ජන ඇතිවිය හැකියි. එය අප මතක තබාගත යුතුයි.
එමෙන්ම ගෝලීය තත්ත්වයන් වෙනස් වෙනවා. අපි ඉන්දියන් සාගරය පිළිබඳ අවධානය යොමුකළයුතුයි. 2030 වන විට අපේ නාවුක හමුදාවන් වැඩිකළ යුතුව තිබෙනවා. යුද හමුදාව අඩු විය හැකියි. ගුවන් හමුදාවේ ප්‍රහාරක යාත්‍රා වැඩියෙන් තියෙන්න පුළුවන්.ඩ්‍රෝන තාක්ෂණය අවශ්‍ය වෙනවා. 2040 වන විට මේ තත්ත්වය තවත් ඉහළ යනවා. අපි බලන්න ඕන කොහොමද මෙය ඉදිරියට පවත්වාගෙන යන්නේ කියලා. අපට අවශ්‍ය වෙලා තිබෙන්නේ අපේ ආරක්ෂක වියදම අඩු කරගෙන 3% – 4% මට්ටමක පවත්වාගෙන යන්න.
අපිට පුළුවන්නම් අපේ ආර්ථික වර්ධන වේගය 8%කට ගේන්න අපට අවශ්‍ය තරම් මුදල් තිබෙනවා. සිංගප්පූරුවේ මේ තත්ත්වය ඇති කළේ වර්ෂ ගණනාවක් 8% ආර්ථික වර්ධනයක් සමගයි. අපි අලුතින් හිතන්න අවශ්‍යයි. පරණ විදියට හිතලා මේවා කරන්න බැහැ.
ඒ වගේම හමුදාවෙන් ඉවත්වන අයටත් මේ සමාජයේ වැඩකටයුතුවලට දායක වෙන්න අවස්ථාව තියෙන්න ඕනැ. අද වෘත්තීයවේදීන් මේ රටින් පිටවෙලා යනවා. ඒ හිඬැස පුරවන්න පුළුවන් අපේ හමුදාවේ අය පුරුදු කරලා ඒ තැන්වලට යොමු
කිරිමෙන්. ඒකයි අපි හමුදා සේවයේ විශ්‍රාම ලබන කාලය වසර 22 සිට 18 දක්වා අඩු කළේ. අනිත් අයට ගැටලුවක් නැහැ. අපි අලුතින් මේවා සැලසුම් කළයුතුයි. අලුතින් සිතිය යුතුයි.
යුද නැවක් අපිට අලුතින් ලංකාවේ නිෂ්පාදනය කළහැකි නම් මම කැමතියි. ඒ ශක්තිය අපට තිබෙනවා. මුදල් පමණයි සොයාගත යුතුව තිබෙන්නේ.
මම දුටුවා බ්‍රිතාන්‍ය 2035 වන තෙක් මෙම සැලසුම් සකස් කර තිබෙනවා. අපි අලුත් නීති ගේන්න ඕන. අපි ආරක්ෂක මණ්ඩලය නීතියෙන් ස්ථාපිත කරනවා. ජාතික ආරක්ෂක උපදේශක තනතුර, ඒ වගේම ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලයක් ඇති කරන්න සැලසුම් කර තිබෙනවා. ඒ වාගේම ත්‍රිවිධ හමුදා කමිටුවක් පත්කරනවා ඒ නිලධාරින් සදහා. මේ සියල්ල සාකච්ඡා කරලා මේ සභාවට ඉදිරිපත් කරන්නම්.අපට අවශ්‍ය වී තිබෙන්නේ අලුත් හමුදාවක් ලංකාවේ ඇති කිරීමට. එය සිදු කිරීම සඳහා සීග්‍රයෙන් දියුණුවන ආර්ථිකයක් අවශ්‍යයි.
ඒ වගේම පොලීසිය සම්බන්ධවත් අපි අවධානය යොමු කර තිබෙනවා. “පොදු ආරක්ෂක වාර්තාව” නමින් අපි වාර්තාවක් ලබා ගන්නවා ඊළග වසර 10 පොලීසිය දියුණු කරන්නේ කොහොමද කියලා සොයා බලන්න. මම ඇමතිතුමාට ඒ පිළිබඳ දැනුම් දුන්නා. දැන් පොලිස් ආඥා පනත කෞතුකාගාරයට යවන තත්ත්වයට පත්ව තිබෙනවා. අලුත් ආඥාපනතක් සකස් කිරීම පිළිබඳ අපි දැන් කටයුතු කරමින් සිටිනවා. මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම මෙවැනි ගැටලු ගණනාවක් අද තිබෙනවා. මේවා සියල්ල විසඳා ගනිමින් අපි ඉදිරියට යා යුතුයි.
විශේෂයෙන්ම එදා ප්‍රචණ්ඩ පිරිස්වලින් මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුද හමුදාවේ ඒ සියලුදෙනාට මම ස්තූති කරනවා. එදා ඔවුන් නොසිටියා නම් අද මේ රටේ පාර්ලිමේන්තුවක් නැහැ. අපිට මෙහෙම වාඩිවෙලා සාකච්ඡා කරන්න බැරි වෙනවා.
පරමාධිපත්‍ය අයිති ජනතාවට බව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන වගන්තියේ සඳහන් වෙනවා. එය ක්‍රියාත්මක වන අන්දම 04 වන වගන්තියේ සඳහන් වෙනවා. ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණය බලය. ඒ සමගම මුලික අයිතිවාසිකම්. එමෙන්ම ජනතාවට සෘජුව සහභාගීවිය හැකි එකම අවස්ථාව ජනමත විචාරණයයි. කාටවත් පාරට බැහැලා කලබල කරන්න බැහැ. ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැහැ. හමුදාවට තිබෙන මේ නීති ආරක්ෂා කරන්න.
ආණ්ඩු පෙරළන්න එද්දි හමුදාවට පැත්තකට වෙලා ඉන්න බැහැ. අපේ මහානායක හිමිවරුන්ට තර්ජනය කරනකොට අපිට නිකන් ඉන්න බැහැ. ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට අනුව හමුදාවට බලයක් තිබෙනවා ඒවා නැවැත්වීමට. එවන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට ඉඩ දිය නොහැකියි. පැවැදි පුද්ගලයන් යොදවලා කලබන ඇති කරන එක නැවැත්විය යුතුයි. මම නම් මේවට ඉඩ දෙන්න කිසිසේත්ම කැමති නැහැ.
අද ඇතැම් සංඝයා වහන්සේලා යොදාගෙන අරගල කරනවා. කලබල ඇති කරනවා. සංඝයා වහන්සේලාට ශාසනික කටයුතු තිබෙනවා. උන්වහන්සේලා එම කටයුතුවල නිරතවිය යුතුයි. ගිහි අය මේවට සම්බන්ධවෙන එක වෙනම කාරණයක්.
විශ්වවිද්‍යාල එක ශිෂ්‍යයෙක්වත් අත්අඩංගුවේ පසු නොවන බව මම අධ්‍යාපන ඇමතිතුමාට සිහිපත් කරන්න කැමැතියි. වසන්ත මුදලිගේ වසර 8-9 ක්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මේක හරි වැඩක්නෙ. මම විශ්ව විද්‍යාලයෙන් පිටවුණේ අවුරුදු 21 දී. මුදලිගේ වයස අවුරුදු 31ක් වෙලත් තවම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. යම් ශිෂ්‍යයෙකුට වැඩිපුර ලබාදිය හැක්කේ එක් වසරක් පමණයි. ඊට පසුව විශ්වවිද්‍යාලයේ පිටවිය යුතුයි.
මම එකක් කියන්න ඕනැ. මටත් අවශ්‍ය මානව හිමිකම් ආරක්ෂා කරන්නයි. අරාජිකත්වයටත්, ප්‍රචණ්ඩත්වයටත් මානව හිමිකම්වලට ඇතුල් වෙන්නෙ ඉඩ දෙන්න බැහැ. මානව හිමිකම් යොදාගෙන ප්‍රචණ්ඩත්වයත්, අරාජිකත්වයත් ඇති කරන්න ඉඩ දෙන්න බැහැ. මානව හිමිකම් කියලා ප්‍රචණ්ඩත්වය ඇති කරන අය ආරක්ෂා කරන්නත් බැහැ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 14 වන වගන්තියේ අපේ මූලික අයිතිවාසිකම් පිළිබඳ සඳහන් වෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම, නීතියෙන් නියම කරනු ලැබූ සීමාවලට, මහජන ආරක්ෂාව සඳහා, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම ඇතුළු වගන්ති ඇතුළත්. මේ සියල්ල තිබෙනවා 15/1, 15/2 වගන්ති තුළ. මේ සීමාවලින් පිට යන්න බැහැ.
සමහරු අද කියනවා අපි තමයි මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නෙ කියලා.. මොනවද ඔවුන් කරලා තිබෙන්නේ. අඩු තරමින් අපි මේවා ක්‍රියාවෙන් සිදු කරලා තිබෙනවා. අපි ස්වාධීන කොමිෂන් සභා ඇති කරලා තිබෙනවා. ඊට කලින් අණ්ඩුවේ IPPCR පනත ගෙනල්ල තිබුණා.
මේ අය මානව හිමිකම් ආරක්ෂා කරනවා කියලා පිටරටින් සල්ලි අරන් ජීවත් වෙන එක තමයි කරන්නෙ. එයයි ඇත්ත තත්ත්වය. එක්කෙනෙක් හරි නැගිටලා මට කියන්න එහෙම කළේ නැහැ කියලා. මේ අය ගැන මම දන්නවා. මම ඔවුන් සමග වැඩ කරලා තිබෙනවා. මමයි ඔවුන්ව ආරක්ෂා කළේ. අද මටයි කෑගහන්නෙ. මේ විදිහට රට තුළ අවුල් ඇති කරන්න ඉඩ දෙන්න බැහැ.
නීතිය තුළ ඕන දෙයක් කරන්න. විපක්ෂ නායකතුමා කියලා තිබෙනවා මම පාර්ලිමේන්තුව කල් දානවා කියලා. මම කල් දාන්නෙ නැහැ. මට පාර්ලිමේන්තුව කල්දාන්න අයිතියකුත් නැහැ. පාරේ කෑගැහුවා කියලා මම නිකම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න යන්‌ෙනත් නැහැ. බහුතරය කියන්නෙ කෑගහන අයට නෙමෙයි. බහුතරය නිෂ්ශබ්දව සිටිනවා. ඒ නිෂ්ශබ්දව සිටින පිරිසට ජීවත් වෙන්න, තම අයිතිවාසිකම් ලබා ගන්න අයිතියක් තිබෙනවා. ඒ හිමිකම් අනුව තමයි ක්‍රියා කළ යුත්තේ
දැන් මානව හිමිකම්වලට මුවාවෙලා පොලිසියේ නිලධාරීන් හිර කරන්න හදනවා. සමහර විට පොලිසිය මානව හිමිකම් උල්ලංඝණය කර තිබෙනවා වෙන්න පුළුවන්. එහෙම කරපු අය ඉන්නවා නම්, ඒ අයට නඩු දාලා ඒවාට විරුද්ධව තීන්දු දෙනවා නම් ඒ පිළිබඳ ක්‍රියා කරන්න අපි සූදානම්.
හදිසි අවස්ථා ඇති කරලා, කලබල ඇති කරලා පොලිසියට ගියහම ඒක නවත්වන්න පොලිසියට විරුද්ධව මානව හිමිකම් නඩු දානවා. එහෙම කරන්නේ මානව හිමිකම් නිසා නොවෙයි, පොලිසියේ මැදිහත්වීම නතර කරන්නයි. ඒ නිසා මම නීතිපතිවරයාට කිව්වා මේ පිළිබඳ සොයා බලන්න කියලා. එහෙම කරනවා නම් නීතිය ක්‍රියාත්මක කළයුතුයි. මේ සෙල්ලම හැමදාම කරගෙන යන්න ඉඩ දෙන්න බැහැ.
හමුදා නිලධාරියෙක් වුණත්, පොලිස් නිලධාරියෙක් වුණත් ඒ සියලුදෙනාව අපි ආරක්ෂා කරන්න ඕන. මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කර මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාවත් අයින් කරන්න උත්සාහ කළා. මගේ නිවසත් ගිනි තැබුවා. මේකේ ප්‍රධාන මාධ්‍ය සිරස. මමයි ඒ අයට විරුද්ධව කටයුතු කරන්න ඕන. ඒත් මේ අය ගිහින් මානව හිමිකම් කොමිසමට කියනවා මගේ ප්‍රධාන ආරක්ෂකයාව ඉවත් කරන්න කියලා. මොකක්ද ඒයා කරපු වැරැද්ද. සිරසට වුවමනාව තිබුණෙත් මගේ ප්‍රධාන ආරක්ෂක අධ්‍යක්ෂතුමාවත් ඉවත් කරන්න. එයා එතැනට සම්බන්ධ වුණේ නැහැ. අපේ ඉන්න අයගේ නම් කිව්වේ නැහැ.
මේ ගැන එදා මම ප්‍රකාශ කළාට පසු සිරස මාධ්‍ය ආයතනයෙන් මට ගහන්න හත් දෙනෙක් දාලා තියෙනවා. එක එක අයගෙන් ප්‍රකාශ ගන්නවා. දුමින්ද නාගමුව, විදර්ශන කන්නන්ගර, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ අයගෙන් ප්‍රකාශ ගන්නවා.
මං කියන්නෙ මම ගැන කියන්න කලින් විශ්වවිද්‍යාල සිසුන් නවක වධයෙන් ආරක්ෂා කරලා දෙන්න. නවක වධයට විරුද්ධ වෙන්න. ආණ්ඩුවක් වගේම විපක්ෂයක් තියෙන්න ඕන. මං කියන්නෙ අපි ඒකතු වෙලා මේ ප්‍රශ්න විසඳගමු. ආපසු පාරට ඇවිත් කියන්න බැහැනෙ ආණ්ඩු පෙරළන්න කියලා.
එවැනි අවස්ථාවක් ඇති වුණොත් ආණ්ඩුව ආරක්ෂා කර ගන්න ආරක්ෂක සේවයේ සිටින සෑම කෙනෙක්ටම වගකීමක් තිබෙනවා. ක්‍රෝප්‍රල්ගේ සිට ෆීල්ඩ් මාර්ෂල් දක්වා සියලුදෙනා එකතුවී මේ ආයතන ආරක්ෂා කරගන්න කටයුතු කළයුතුයි. මේ පිළිබඳ කැපවී කටයුතු කරන ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියේ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමන්න කැමතියි. ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.