වත්තල, හැඳල ප්‍රදේශයේදී ඊයේ (17) සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා විදේශීය දුම්වැටි නව දහසක (9,000) පමණ තොගයක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත් විය. මෙම දුම්වැටි තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගෝණහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.
සැකකරු, ඔහු සන්තකයේ තිබූ දුම්වැටි තොගය සහ ප්‍රවාහනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දීමට පියවර ගෙන ඇත. රේගු බදු ගෙවීම පැහැර හරිමින් මෙරටට ගෙන්වන මෙවැනි නීතිවිරෝධී දුම්වැටි ජාවාරම් මැඩලීම සඳහා ආරක්ෂක අංශ දිගින් දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.














