ඇතැම් දේශපාලන කණ්ඩායම්වල පිරිස්වල නියම ස්වරූපය පෙන්නේ මහමැතිවරණයෙන් බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “ නීත්‍යානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන්නට නියමිත දවස් නිශ්චිතයි. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයක් පාර්ලිමේන්තුවට වසර දෙකහාමාරක් පිරුණට පස්සේ ඕනම අවස්ථාවක පැවැත්වීමේ හැකියාව ජනාධිපතිවරයා සතුවෙනවා. ඒ තීරණය සතුවෙන්නේ ජනාධිපතිවරයා සතුව මිසක් අපි සතුව නොවේ. නමුත් පක්ෂයක් හැටියට අපි ප්‍රකාශ කරලා තිබෙනවා පාර්ලිමේන්තු මැතිවරණයක් මේ අවස්ථාවේ වඩා හොඳයි කියලා. නමුත් ඒ සම්බන්ධයෙන් තීරණය ගැනීමේ අයිතිය ජනාධිපතිවරයා සතුයි. අපි ඕනෑම මැතිවරණයකට මුහුණදෙන්න ඉතාම ශක්තිමත්ව පක්ෂයක් හැටියට අපි සූදානම්වෙලා ඉන්නවා. දේශපාලඥයන් හැටියට ලැබෙන වාසිය නොවේ අපි මේ අවස්ථාවේ කල්පනා කරන්නේ. මේ සමාජයේ විකෘතියක් තිබෙනවා. මේ සමාජයේ යම් පිරිසක් කෙරෙහි වෛරය වැපිරවීමක් තිබෙනවා. මේ රට ගොඩනගපු, මේ රටට ආදරය කරපු, මේ රට බේරගත්ත නායකයින් හොරකම් කළා කියලා සමාජයේ බොරු වෛරයක් මතුකරලා, සමාජය තුළ කුහකත්වය ගොඩනගන ජන කණ්ඩායමක් , දේශපාලන කණ්ඩායමක් අද සමාජය තුළ කටයුතු කරමින් සිටිනවා. මෙවෙනි කණ්ඩායමක නියම ස්වරූපය රටට එළිදක්වන්න පුළුවන් හොඳම මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් කියන කාරණය තමයි අපේ විශ්වාසය. අපිට අපේක්ෂකයෙක් නැහැ කියන කාරණය වැරදි. අපිට අපේක්ෂකයෝ කිහිපදෙනෙක් ඉන්නවා. අනෙක් සියලුම පක්ෂවලට ඉන්නේ එක අපේක්ෂකයයි. අනෙක් සියලූම පක්ෂ දැනට අවුරුදු දෙකකට, තුනකට නම් කළ අපේක්ෂකයා මත තමයි අදත් එල්බගෙන ඉන්නේ. අපි පක්ෂය හැටියට නිශ්චිත අවස්ථාවේදී ජයග්‍රහණය කරන්න පුළුවන් ඊලග ජනාධිපතිවරණයේදී ජයග්‍රාහී අපේක්ෂකයා ඉදිරිපත් කරලා සාක්ෂාත් කරගන්නවා. මේ රට බෙදෙන්න තිබුණ අවස්ථාවක දී අපි 2005 දී මේ රට බේරගන්න පුළුවන් නායකයෙක් පත්කරගත්තා. ඒ වගේම ඊලඟ මැතිවරණයේදී යුද්ධයෙන් පස්සේ රට සංවර්ධනය කරන්න, සංවර්ධනය කළ හැකි නායකයෙක් පත් කරගත්තා. පසුගිය වතාවේ මේ රටේ ජනතාව ඉල්ලා සිටියේ පාස්කු බෝම්බ පිපිරෙන්නේ නැති රටක්, පාතාලය රජ නොකරන රටක් ඇති කරලා ඕනම ජාතිකයෙක්ට නිදහසේ ජිවත්වෙන රටක් හදලා දෙන්න කියලා. අපි ඒ නිදහස ලබාදෙන්න පුළුවන් නායකයාව ගෙනල්ලා ඒ නිදහස මේ රටේ ජනතාවට ලබාදුන්නා. දැනට අවුරුදු 05 කට පෙර තිබුණ තත්වය දැන් මේ රටේ නැහැ. දැන් ඊලඟට තිබෙන්නේ මේ රටේ ආර්ථික යුද්ධය ජයග්‍රහණය කළහැකි නායකයෙක් ගෙනඒම. අපි ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් නායකයෙක් ඉදිරිපත් කරලා, ඒ ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරලා ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ලබාදෙන්න කටයුතු කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.