වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයන් රවටා ව්‍යාජ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වටලන්නට පොලිස් විශේෂ කාර්යාංශයේ විශේෂ මෙහෙයුම් ඒකකය සමත්ව තිබේ. පසුගිය බදාදා සිදුකළ මෙම වැටලීමේදී හෝමාගම සහ බුලත්කොහුපිටිය ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් එක් අයෙකු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේම සේවය කළ ආරක්ෂක නිලධාරියෙකු වීම විශේෂත්වයකි.
පොලිස් නිලධාරියෙකු උපාය දූතයෙකු ලෙස යොදවා රුපියල් 10,000ක මුදලකට බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු කොටු කරගෙන ඇත. පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ දෙපාර්තමේන්තුවේ සේවය කළ ආරක්ෂක නිලධාරියා විසින් බලපත්‍රවල විශ්වාසනීයත්වය තහවුරු කිරීමට යොදාගන්නා නිල ආරක්ෂක ස්ටිකර් සොරකම් කර, රුපියල් 500ක් වැනි සුළු මුදලකට ප්‍රධාන සැකකරු වෙත අලෙවි කර ඇති බවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ද අදාළ ආරක්ෂක නිලධාරියා සන්තකයේ තිබී එවැනි ස්ටිකර් 9ක් සොයාගෙන තිබේ.
මීට අමතරව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධ වී සිදුකරන බව කියන තවත් අල්ලස් ජාවාරම් කිහිපයක් පිළිබඳව ද මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ ආරම්භ කර ඇත. විශේෂයෙන්ම වාහන ආනයනය කරන්නන්ට “ගරාජ් අංක” (CC Numbers) නිකුත් කිරීමේදී පවතින නීතිමය ක්‍රියාපටිපාටිය හිතාමතාම සංකීර්ණ කරමින්, ලිපිගොනු ඉක්මනින් අනුමත කර දීම සඳහා විශාල මුදලක් කප්පම් ලෙස ලබා ගන්නා බවට නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා බොරලැස්ගමුව පොලිසිය වෙත භාර දී ඇත.














