බටහිර අප්‍රිකානු කලාපයේ ක්‍රියාත්මක අල් කයිඩා (al Qaeda) සහ ඉස්ලාමීය රාජ්‍ය (Islamic State) කල්ලිවලට අනුබද්ධ සන්නද්ධ කණ්ඩායම් පළමු වරට නයිජර් රාජ්‍යය තුළදී දරුණු ලෙස එකිනෙකා සමඟ ගැටී තිබේ. මීට පෙර මාලි සහ බුර්කිනා ෆාසෝ යන රටවලට පමණක් සීමා වී තිබූ මෙම කල්ලි දෙක අතර පවතින වසර ගණනාවක එදිරිවාදිකම මෙලෙස නයිජර් දේශසීමාව දක්වා ව්‍යාප්ත වී ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පසුගිය අප්‍රේල් 2 වනදා බටහිර නයිජර් හි තිල්ලබේරි (Tillaberi) කලාපයේදී ඉස්ලාමීය රාජ්‍යයට හිතවාදී ISSP සන්නද්ධ සාමාජිකයන් විසින් අල් කයිඩා හිතවාදී JNIM කල්ලියේ කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් ඔවුන්ගේ සාමාජිකයන් 35 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් පසු අදාළ කලාපයේ තිබූ ආයුධ සහ යතුරුපැදි තමන් සන්තකයට ගත් බව ISSP කල්ලිය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
2019 වසරේ සිට මෙම කණ්ඩායම් දෙක අතර ඇති වූ සිය ගණනක ගැටුම්වලින් පුද්ගලයන් 2,100කට අධික පිරිසක් මියගොස් ඇති බව ACLED දත්ත වාර්තා පෙන්වා දෙයි. සහේල් (Sahel) කලාපය තුළ පවතින දුර්වල ආරක්ෂක සහයෝගීතාව සහ රාජ්‍ය පාලනයේ පවතින අඩුපාඩු හේතුවෙන් මෙම සන්නද්ධ කල්ලිවලට සිය බලය ව්‍යාප්ත කිරීමට අවස්ථාව උදාවී ඇති අතර, මෙය කලාපීය ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වී තිබේ.














